දකුණු ඉන්දීය සාගරයෙන් සංඥා රිද්මයක්

MH 370 අතුරුදහන් මැලේසියානු යානය සොයා ගැනීමේ මෙහෙයුමේ නිරත තම නැවකට දකුණු ඉන්දීය සාගරයෙන් සංඥා රිද්මයක් හසුව ඇතැයි චීනය ප්‍රකාශ කරයි.

චීන රාජ්‍ය මාධ්‍ය මගින් නිවේදනය කෙරුණේ ගුවන් යානාවල කළු පෙට්ටි සොයා ගැනීමේ උපකරණ වලින් සමන්විත තම නෞකාවට ගුවන් යානා තොරතුරු පටි ගත කෙරෙන යන්ත්‍රවලින් නිකුත් කෙරෙන ආකාරයේ කෙටි තරංග සංඥා පෙළක් හසු වූ බවයි.

එහෙත් කෙටි වෙලාවකට සීමා වූ එම සංඥා පටි ගත කර ගැනීමට චීන නැවියන් අසමත් වූ බවයි පැවසෙන්නේ.

එසේම එම සංඥා MH 370 අතුරුදහන් මැලේසියානු යානයට සම්බන්ධ වූවක් ද නැද්ද යන්න තවම පැහැදිලි නොමැත.

සෝදිසි මෙහෙයුම සම්බන්ධීකරණය කරන ඕස්ට්‍රේලියානු මධ්‍යස්ථානය ඒ සම්බන්ධයෙන් තවම කිසිවක් ප්‍රකාශ කොට නැති බවයි වාර්තා වන්නේ.

මේ අතර ප්‍රකාශයක් කරන මැලේසියාවේ ආරක්ෂක ඇමති හිසාමුදින් හුසේන් පැවසුවේ සෝදිසි මෙහෙයුම දුෂ්කර වුවත් එය අත්හැර නොදමන බවයි

MH 370 මැලේසියානු යානය මගීන් 239 දෙනකු සමඟ අතුරුදහන් වී මාසයක් ඉක්ම ගොස් තිබේ.