පකිස්තානයේ කිතුනු යුවළකට මරණ දඬුවම

  • 2014 අප්‍රේල් 5
Image caption 'ලාහෝර්' කිතුනුවන්ට එරෙහිව

මොහමඩ් නබි නායක තුමාට අවමන් කරමින් ‘ටෙස්ට්’ පණිවුඩ යැවීමේ චෝදනා යටතේ පකිස්තානයේ කිතුනු යුවළක් මරණීය දණ්ඩනයට යටත් කෙරිණ.

පිරිසිදු කරන්නියක් වන ෂාගුෆ්ටා කෞසාර් සහ ඇයගේ සැමියා වන ෂෆ්කාට් එමානුවෙල් පන්ජාබ් ප්‍රාන්තයේ මුස්ලිම් ප්‍රධානීන් වෙත එවැනි ‘ටෙස්ට්’ පණිවුඩ යවා ඇති බවටයි චෝදනා කෙරුණේ.

ෂෆ්කාට් එමානුවෙල් රැකියාවක් කළ නොහැකි මට්ටමේ ආබාධිතයකු වන බවත් පකිස්තානයෙන් ලැබෙන වාර්තාවන්හි දැක්වෙයි.

චූදිතයන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා පවසන්නේ, තම සේවාදායකයන්ට එරෙහිව පිළිගත හැකි මට්ටමේ ප්‍රබල සාක්ෂි නොවූ බවයි.

එසේම ඉස්ලාම්වාදීන් විසින් විනිසුරුවරයා බිය ගන්වනු ලැබ ඇති බවටද නීතිවේදියා චෝදනා කරයි.

සුළු ආගමිකයන්ට පීඩා

Image caption ආගමේ අයිතිය ඉල්ලන පකිස්තාන් කිතුනුවන්

ආගමට අවමන් කළ පුද්ගලයන්ට මරණීය දණ්ඩනය නියම කරන මෙන් ඉල්ලා සිටි පැමිණිල්ලේ නීතිවේදීන් උසාවිය තුළ ශුද්ධ කුරානයේ පාඨ ගායනා කළ බවත් විත්තියේ නීතිවේදියා පෙන්වා දෙයි.

තවදුරටත් කරුණු දක්වමින් විත්තියේ නීතිවේදියා කියා සිටියේ, පන්ජාබ් ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාර සල්මන් ටාසීර් මරා දැමූ ඝාතකයා පැමිණිල්ලේ නීතිවේදීන්ගේ අගය කිරීමට ලක් වූ බවයි

මරා දැමුණ ආණ්ඩුකරු සල්මන් ටාසීර් ආගමට අවමන් කිරීම සම්බන්ධයෙන් පකිස්තානයේ බල පැවැත්වෙන දැඩි නීතිය සංශෝධනය කරන මෙන් ඉල්ලා සිටිමින් උද්ඝෝෂණය කළ නායකයෙකි.

පකිස්තාන් ජනගහනයෙන් සියයට අනූවක් ම ඉස්ලාම් බැතිමතුන් වෙති.

ආගමට අවමන් කරනු ලැබීමට එරෙහිව පකිස්තානයේ බල පැවැත්වෙන දැඩි නීතිය සුළු ආගමිකයන් පීඩාවට පත් කරනු ලැබීමට නිතරම යොදා ගන්නා බවයි මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර