ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

යනුකොවිච්ගේ රහස් ගඟින් මතුවෙයි

බලයෙන් පහවී රටින් පැන ගිය යුක්රේනයේ හිටපු ජනාධිපති වික්ටර් යනකොවිච් ට අයත් ලිපිගොණු විශාල ප්‍රමාණයක් ගඟක පාවෙමින් තිබියදී හමුවී තිබේ.

ගඟෙන් ගොඩට ගනු ලැබ තෙත්ව තිබූ එම ලිපි ගොනු අසල වූ තානායමකට ස්වේච්චාවෙන් එක් රැස්වූ පිරිසක් විසින් වේලා සකස්කර ස්කෑන් පිටපත් අන්තර්ජාලයට එකතු කළ බවයි සඳහන් වන්නේ.

වංචා පිලිබඳ රහස් තොරතුරු

දස දහස් ගණනක් වූ එම ලිපි ලේඛන මගින් ඩොලර් මිලියන ගණනක ගනු දෙනු වල රිසිට් පත් මෙන්ම සාවද්‍ය ඉන්ධන ගනු දෙණු පිලිබඳ වූ රහස්‍ය තොරතුරු රැසක් හෙළිවී තිබේ.

Image caption මේ සොයා ගැනීම් මගින් පැහැදිලි වන්නේ හිටපු ජනාධිපතිවරයා යටතේ දුෂණ සිදුවූ ආකාරයයි

එබැවින් එම ලිපිලේඛන වල අන්තර්ගත රහස්‍ය තොරතුරු තවදුරටත් මහජනතාවගෙන් වසන්කර තැබීමට නොහැකි වන ලෙස මුදා හැර ඇති බව පවසන මාධ්‍යවේදී ඇලෙක්සැන්ඩර් අකිරියන්කෝ ඒවා මගින් හෙළිවන්නේ යුක්රේනය නීත්‍යනුකුල නොවන වංචා සහගත ගනුදෙනු සඳහා මධ්‍යස්ථානයක් ව පැවති බව යැයි ද පවසයි.

“අපේ මුල්ම පියවර වුනේ මේ සාක්ෂි ආරක්ෂා කර ගන්න එක. ඒ නිසා අපි පුස්තකාලාධිපති වරු ඉතිහාසඥයෝ වගේ ස්වේච්චාවෙන් ඉදිරිපත්වෙන අයට එන්න කිව්ව. ඊටපස්සෙ මුලින්ම අපි එකතු වෙල කලේ මේ කඩදාසි වේලන එක. හැම කඩදාසියක්ම එකින් එක අරගෙන තෙත කඩදාසි අතරට අලුත් කඩදාසි තියල ඒ ලිපිගොනු සේරම වේලුව”. යනුවෙන් ඔවුන් මේ ලිපි ගොනු බේරා ගත් ආකාරය පිළිබඳව විස්තර කළේය.

රජයට හිතවත් අයට බැංකු අරන් දීලා

මේ අතර මාධ්‍යවේදී මුස්තාපා නයම් ට ලැබුණ තොරතුරකින් කියවුණේ අධිකරණයෙන් දඬුවමකට ලක්ව සිටින ජෙනරාල් වරයෙක් වන වික්ටර් පොශෝංක ට අයත් තවත් ලිපි ලේඛන හමු වී ඇති බවයි.

මේ සොයා ගැනීම් මගින් පැහැදිලි වන්නේ හිටපු ජනාධිපතිවරයා යටතේ දුෂණ සිදුවූ ආකාරය බවයි මුස්තාපා පවසන්නේ.

“මේ ලිපි ලේඛන අනුව පෙනෙනව ඔවුන් කොහොමද මේ බැංකුව අත්පත් කර ගන්නට කටයුතු කළේ කියල. ඒ කියන්නෙ හිටපු ජනාධිපති වරයාගෙ රජයත් සමග ඉතා කිට්ටුවෙන් කටයුතු කරපු පිරිසකට මේ බැංකුවේ අයිතිය අරන් දීල. පෙනෙන විදියට රජය සහ රට කරවන එකත් ඔවුන් සහයෝගයෙන් කරල තියන ව” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

නගරය පුරා මෙසේ දැනට සැඟවී සිටින හිටපු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රාදේශීය පාලකයන්ට අයත් ලිපිලේඛන ඇති බවයි පැවසෙන්නේ.

Image copyright AP
Image caption එම ලිපිලේඛන වල අන්තර්ගත රහස්‍ය තොරතුරු තවදුරටත් මහජනතාවගෙන් වසන්කළ නොහැකියි

මාධ්‍ය මර්ධනය

ඇතැම් විට විට මීටත් වඩා භයානක උපක්‍රම යනුකොවිච් ගේ හිතවාදී නිලධාරීන් ලවා සිදුකර ඇති බවට නිදසුන් තිබේ.

පසුගිය දෙසැම්බර් මාසයේදී මාධ්‍යවේදිනී තෙජානා චෝව්නවොව් ගේ රථය මහා මාර්ගයකදී ලුහු බැඳගොස් ඇයට පහරදීම එවන් එක් නිදසුනක්. තෙජානා යනු නොනවත්වාම යනකොවිච් ගේ අකටයුතුකම් දරුණු විදියට විවේචනය කළ මාධ්‍යවේදිනියක්. හඳුනානොගත් පිරිසක් විසින් තෙජානා ව බලහත්කාරයෙන් රථයෙන් එලියට රැගෙන පහර දී මහමග දමා ගොස් තිබුණි. එම සිදුවීම ඇයගේ මෝටර් රථයේ ඩෑෂ් බෝඩ් එක මත වූ කැමරාවේ සටහන් වී තිබුණු බවයි සඳහන් වන්නේ.

හිටපු ජනාධිපති යනොකොවිච් ගේ ආරක්ෂක ප්‍රධානියා වුනු කොන්ස්ටන්ටින් කොබ්සා ගේ නිවසේ තිබී හමුවුණු අත් අකුරින් ලියු සටහන් පොතක් මේ සිදුවීමට අදාලව වැදගත්ම සාක්ෂියක් සපයා තිබිණි.

එහි වූ සඳහනකට අනුව කොබ්සා එම මධ්‍යවෙදිනියගේ දුරකථන සංවාද වලට රහසින් සවන් දුන් බවත් පහරදීම සිදු වූ දවසේ සැන්දෑවේ ඇගේ ගමන් බිමන් නිරීක්ෂණය කළ බවටත් සාධක හමුවුණි. අන්තිම සටහන ලෙස සටහන් කර තිබී ඇත්තේ “පාන්දර එකයි, වැඩේ අවසන්” යනුවෙනි.

‘එත් මම තවම ඉන්නවා’

තෙජානා පවසන්නේ මේ පහරදීම පිටුපස යනුකොවිච් සිටින බවයි.

“ඒ අයට ඕන වුණේ මාව විනාශ කරන්න. එත් මම තවම ඉන්නවා. ඒ වුණාට පුදුම හිතෙනව වෙලාවකට, විශ්වාස කරන්න, මේ වගේ වැඩක් සැලසුම් කරගන්න ආරක්ෂක අංශ ප්‍රධානියාට බැහැ. මේ පහරදීම කරන්න කියල නියෝග කරලා තියෙන්නෙ යනකොවිච්” යනුවෙන් ඇය පැවසුවාය.

කෙසේවුවද, මේ සොයා ගත ලිපි ලේඛණ අනාගතයේ දවසක දුෂණයෙන් තොර විවෘත යුක්රේනයක් වෙනුවෙන් ලොකු මෙහෙයක් කරනු ඇති බවයි තෙජානා ඇතුළු බොහෝ අයගේ විශ්වාසය.