මාර්කේෂ් වෙනුවෙන් ලොව පුරා උපහාරය

ඊයේ බ්‍රහස්පතින්දා දිවියෙන් සමුගත් ජගත් කීර්තිධර ලේඛක ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේෂ් වෙනුවෙන් ලොව පුරා උපහාරය පළ වෙමින් පවතී.

‘මාර්කේෂ්’ යන ආදරණීය නමින් ලොව හඳුනන කොලොම්බියානු ජාතික නොබෙල් සම්මානලාභියා ඊයේ අවසන් හුස්ම හෙළන ලද්දේ ‘මෙක්ෂිකෝ සිටි’ නගරයේ ඔහුගේ නිවහනේදී.

ලෝක පූජිත සාහිත්‍යධරයා දිවියෙන් සමු ගත්තේ අසු හත්වැනි වියේදී.

Image copyright AFP
Image caption මාර්කේෂ් සහ බිල් ක්ලින්ටන්

මාර්කේෂ් ගේ අතිශයින් ජනප්‍රිය ප්‍රබන්ධ කෘතීන් අතරින් එක් නිර්මාණයක් වන "One Hundred Years of Solitude"(මෙම නව ප්‍රබන්ධය ‘වසර සියයක් හුදෙකලාවේ’ නමින් සිංහලට පරිවර්තනය කරනු ලැබ ඇත) සම්බන්ධයෙන් සිහිපත් කරමින් ප්‍රකාශයක් කරන කොලොම්බියානු ජනාධිපති ජුවාන් මැනුවෙල් සැන්ටෝස්, ‘මාර්කේෂ් ගේ අභාවයත් සමඟ සියරට වසර දහසක හුදෙකලාවකට සහ සංවේගයට’ පත් වූ බවයි කියා සිටියේ.

ඔබාමාගේ ශෝකය

ජනාධිපති සැන්ටෝස් මාර්කේෂ් විග්‍රහ කළේ ‘සදා නොමියෙන කොලොම්බියානු පුත්‍රයා’ හැටියටයි.

ලොව සම්භාවනීය සාහිත්‍යධරයා ගේ අභාවය නිමිත්තෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරන ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා විසින් මාර්කේෂ් හඳුන්වා දෙන ලද්දේ, සිය ප්‍රියතම ලේඛකයන් කීප දෙනා අතරට එක් වෙන නිර්මාණ කරුවකු හැටියට.

සඳුදා පැවැත්වෙන සමරු වැඩ සටහනකින් අනතුරුව සිය ඥාතියාගේ දේහය පෞද්ගලික අවමඟුල් උළෙලක මට්ටමින් ආදාහනය කරන බවයි, මාර්කේෂ් පවුලේ සාමාජිකයන් විසින් දැනුම් දෙනු ලැබ තිබෙන්නේ.