සෞදියේ රිය පැදවූ කාන්තාවක් අත්අඩංගුවට

Image copyright twitter.com Saudiwoman
Image caption කාන්තාවන්ට රිය පැදවීම තහනම් කර ඇති ලෝකයේ එකම රට සෞදි අරාබියයි

සෞදි අරාබියේ රිය පැදවූ කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ක්වාටිෆ් දිස්ත්‍රික්කයේ රිය පදවමින් නීතියට අකීකරු වීම නිසා අත්අඩංගුවට පත් වූ මෙම විසි තුන් හැවිරිදි කාන්තාව අනතුරුව ඇප පිට මුදා හැරීමට සෞදි පොලීසිය පියවර ගෙන ඇත.

ඇගේ ස්වාමි පුරුෂයාටද දඩ නියම කර ඇති පොලීසිය මෝටර් රථය දින හතක් පොලිස් භාරයේ තබා ගැනීමට පියවර ගෙන තිබේ.

කාන්තාවන්ට රිය පැදවීම තහනම් කර ඇති ලෝකයේ එකම රට සෞදි අරාබියයි.

විරෝධය

කාන්තාවන් ට පනවා ඇති රිය පැදවීමේ තහනමට එරෙහිව දෙදහස් දහතුන වසරේදී සෞදි අරාබියානු කාන්තාවන් දෙදෙනෙකු තම විරෝධය පළ කරමින් සෞදි බලධාරීන්ගේ අණ නොතකා රියාද් නගරය තුල රිය පදවන අකාරය පෙන්වන අන්තර් ජාලයට එක් කර තිබූ වීඩියෝව ලොව පුරා අවධානයට ලක් විය.

සෞදි අරාබියානු අභ්‍යන්තර කටයුතු පිලිබඳ අමාත්‍යාංශය පවසා තිබුණේ කවරකු හෝ මේ තහනම නොතකා කටයුතු කරන්නේ නම් එය එරට ශුද්ධවූ නීතියට එරෙහිව යෑමක් බැවින් වරදකරුවන් විශේෂ දඬුවමකට ලක්වන බවයි.

දෙදහස් දහතුන වසරේදී දාහත් දහසක් පමණවූ ජනතාවක් අත්සන් කළ පෙත්සමක් මගින් සෞදි බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ කාන්තාවන්ට රිය පැදවීමට අවසර දෙන ලෙස හෝ එසේ නැතිනම් තහනම පවත්වා ගැනීමට සාධාරණ හේතු ඉදිරිපත් කරන ලෙසටයි.

ආගමික ආඥාවක් මත පනවා ඇති තහනමට කාන්තා අයිතීන් සඳහා පෙනී සිටින සෞදි ක්‍රියාකාරීන්ගේ දැඩි විරෝධය පලවී තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර