අපරාධ පිළිගත් බ්‍රසීල යුද නිලධාරියාට මරණය

Image copyright JC

දේශපාලන සිරකරුවන්ට වධ හිංසා සිදු කළ බව පිළිගත් බ්‍රසීලයේ විශ්‍රාමික යුද නිලධාරියෙක් ඔහුගේ නිවසේ සිටියදී මරා දමනු ලැබ ඇති බව වාර්තා වෙයි.

බ්‍රසීලයේ යුද හමුදා පාලනය පැවති සමයෙහි තමා දේශපාලන සිරකරුවන් වධ හිංසාවන්ට ලක් කළ බවත් ඔවුන් මරා දැමූ බවත් කර්නල් පවුලෝ මල්හෑස්(Paulo Malhães) විසින් පිළිගනු ලැබ තිබුණේ මෙයින් මාසයකට පමණ පෙරයි.

යුද නිලධාරියාගේ බිරිඳ පවසන ආකාරයට රියෝ ඩි ජනේරියෝ අගනුවර අසල පිහිටි ඔවුන්ගේ නිවසට කඩා වැදුණ මිනිසුන් තිදෙනකු විසින් හුස්ම හිර කරනු ලැබීමෙනුයි, අයගේ සැමියා මරා දමා තිබෙන්නේ.

කර්නල් පවුලෝ මල්හෑස්, බ්‍රසීලයේ ජාතික සත්‍යය කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් පසුගිය සතියේ කියා සිටියේ, තමා විසින් සිදු කරන ලද ඝාතන සම්බන්ධයෙන් කනගාටු නොවන බවයි.

“අවශ්‍යතාව අනුව අවශ්‍ය තරම් බොහෝ මිනිසුන්” යන වචන පාවිච්චි කරමිනුයි, කර්නල් පවුලෝ මල්හෑස් තම ඝාතන යුක්ති සහගත කරන ලද්දේ.

බ්‍රසීලයේ දශක දෙකකට අධික යුද හමුදා පාලන සමයෙහි තවත් “බොහෝ දෙනකු” වධ හිංසාවන්ට ලක් කරන ලද බවයි ඔහු සත්‍යය කොමිසමට කියා සිටියේ.

1964 වසරේ බ්‍රසීලයේ සිදු වූ යුද හමුදා කුමන්ත්‍රණයෙන් අනතුරුව පන්සීයකට ආසන්න පිරිසක් අතුරුදහන් කිරීමට හෝ මරා දමනු ලැබීමට ගොදුරු වූහ.

තවත් දහස් ගණනක් ජනතාව සිරගත කරනු ලැබුණ අතර වත්මන් බ්‍රසීල ජනාධිපතිනි ඩිල්මා රූසෙෆ් ද ඔවුන් අතර වූවාය.