භාරත ඝාතන නඩුව මහාධිකරණයට

Image caption භාරත ලක්ෂ්මන් වමේ සිට පළමුවැන්නා

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මිනී මැරුම් චෝදනා යටතේ නඩු පැවරීමට සාක්‍ෂි ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළේය.

ඒ අනුව විත්තිකරුවන්ට එරෙහි නඩුව වැඩිදුර විභාගයට ගනු ලැබීම මහාධිකරණය වෙත යොමු කරන බවයි, විනිසුරු ප්‍රියන්ත ලියනගේ ප්‍රකාශ කළේ.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් සාක්‍ෂි නොමැති බැවින් ඔවුන් නිදහස් කරන මෙන් විත්තියේ නීතිවේදීන් ඉල්ලා තිබුනත් අධිකරණය විසින් එම ඉල්ලීම බැහැර කරනු ලැබිණ.

“විත්තිකරුවන් නිදහස් කරන මෙන් අපි ඉල්ලා සිටියා. එහෙත් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ ඔවුන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්කි තිබෙන බවයි. එම නියෝගය නැවත සලකා බලන මෙන් නීතිපති වරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.” මේ නඩුවේ විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී හේමන්ත වර්ණකුලසුරිය බීබීසී සංදේශයට කියා සිටියේය.

බිය දුරු වුනා

Image copyright SLM
Image caption හිරුණිකා

සිතාසියක් ලද විට මහාධිකරණය හමුවේ පෙනී සිටින මෙන් දුමින්ද සිල්වා ඇතුළු චුදිතයන්ට අධිකරණය දැනුම් දී ඇත.

එම තීන්දුව ප්‍රකාශයට පත්වීමෙන් පසුව ඝාතනයට ලක් වූ හිටපු නියෝජ්‍ය ඇමති සහ ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දියණිය හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කියා සිටියේ, දුමින්ද සිල්වා නිදහස ලබනු ඇතැයි තමන් තුළ පැවති බිය දුරු වූ බවයි.

“ප්‍රධාන විත්තිකරු නිදහස් වනු ඇතැයි මා තුළ බියක් තිබුණා. එහෙත් දැන් එම බිය දුරු වුනා කියල කියන්න පුළුවන්. අධිකරණය මගින් සාධාරණයක් ඉටු වනු ඇති බවට දැන් මා තුළ විශ්වාසයක් තිබෙනවා.’’පළාත් සභා මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කියා සිටියාය.

සංදේශය කළ විමසීමක දී විත්තියේ නීතිවේදියා කියා සිටියේ, භාරත ප්‍රේමචන්ද්‍ර නඩු විභාගය මහාධිකරණය ඉදිරියේ විභාග කෙරෙන දිනය මෙතෙක් තීරණය වී නොමැති අතර එය මහාධිකරණය විසින් තීන්දු කරනු ඇති බවයි.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙනකුට එරෙහිව රහස් පොලිසිය මගිනුයි, මෙම නඩුව පවරා තිබෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර