චීනයේ මානව හිමිකම් නීතිඥයකු අත්අඩංගුවේ

  • 6 මැයි 2014
Image copyright AFP
Image caption ප්‍රමුඛ පෙළේ මානව හිමිකම් නීතිඥ පූ සිකියෑන්ග් (Pu Zhiqiang)

චීනයේ ප්‍රමුඛ පෙළේ මානව හිමිකම් නීතිඥයකු වන පූ සිකියෑන්ග් (Pu Zhiqiang) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට දේශපාලන ක්‍රියාධරයෝ ප්‍රකාශ කරති.

මීට වසර විසි පහකට පෙර බේජිං නුවර තියානන්මන් චතුරශ්‍රයේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා පැවති උද්ඝෝෂණ හමුදාව විසින් මර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට කැඳවූ සාකච්ඡාවකට සහභාගිවීමෙන් අනතුරුවයි ඔහු අත් අඩංගුවට ගනු ලැබුවේ.

මානව හිමිකම් නීතිඥයකු වන පූ සිකියෑන්ග්, කැලඹීමක් ඇති කිරීමට උත්සාහ කොට ඇති බවට නගරයේ පොලීසිය චෝදනා එල්ල කොට ඇතැයි ක්‍රියාධරයෝ පවසති.

මෙය ප්‍රතිවිරුද්ධ මතධාරී දේශපාලන අදහස් දරන්නන්ට එරෙහිව පොලීසිය විසින් දිගින් දිගටම නගන චෝදනාවක් බවයි ඔවුන් පවසන්නේ.

තියානන්මන් චතුරශ්‍රයේ විරෝධතා සහ ඝාතන ගැන සාකච්ඡා කිරීමටපූ සිකියෑන්ග් සමඟ ගොස් සිටි සෙසු ක්‍රියාකාරීන්ද අත්අඩංගුවට ගෙන ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.