ශ්‍රී ලංකා මුස්ලිම් ප්‍රජාව ලන්ඩනයේ විරෝධතා

  • 6 මැයි 2014

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනයාට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට විරෝධය පල කරන බ්‍රිතාන්‍යවාසී ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව ඊයේ සඳුදා ලන්ඩන් නගරයේ විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.

ඔවුන් විසින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට පෙත්සමක් ද භාර දෙන ලදී.

රටින් බැහැරව සිටින ශ්‍රී ලංකා මුස්ලිම් ඩයස්පෝරාවේ හමීඩ් ජබීර් පැවසුවේ බොදු බල සේනා සංවිධානයට හා සිංහල රාවය වැනි සංවිධානවලට එරෙහිව එම උද්ඝෝෂණය පැවැත්වූ බවයි.

ආරක්ෂාව සහ සමගිය

තම තමන්ට අයිති පූජනීය ස්ථානවල ආරක්ෂාව, සහ සමගියෙන් ජීවත්වීමට ඇති අයිතිය ලබා දීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි ඔහු ප්‍රකාශ කළේ.

“අපේ ජනතාව හා , අපේ ශ්‍රී ලංකාවේ ජනතාව හා සුළු ජනතාව තම තමන්ගේ පූජනීය ස්ථානවල ආරක්ෂාව හා තමන්ගේ සමගිය උරුමය ලබා දීමට කටයුතු කරන මෙන් රජයට අපි ආරාධනාවක් කරනවා”

ශ්‍රී ලංකාවේ සුළු ජන කොටස් වලට අයත් පූජනීය ස්ථානවලට බලපෑම් කිරීම සහ හානි සිදු කිරීමට එරෙහිව තමන් විරෝධය පල කරන බවයි ඔහු කියා සිටියේ.

ශ්‍රී ලංකාවේ සිටින මුස්ලිම් ජනතාවට එසේ විරෝධය පළ කිරීමට හැකියාවක් නොමැති නිසා රටින් බැහැරව සිටින මුස්ලිම් ජනතාව මෙම විරෝධතාවට එක් රැස් වූ බවයි ශ්‍රී ලංකා මුස්ලිම් ඩයස්පෝරාවේ හමීඩ් ජබීර් තවදුරටත් ප්‍රකාශ කළේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර