තමිල්නාඩුවේ ගොන් පොර තහනම්

Image copyright AFP

දකුණු ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ සාම්ප්‍රදායිකව පැවැත්වෙන ගොන් පොර තහනම් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

ගොන් පොර සත්ව හිංසනයක් බවයි, අධිකරණයේ නිගමනය වූයේ.

දැඩි පාලනයකට යටත්ව මෙම ක්‍රීඩාව පැවැත්වෙන නමුත් ගොන් පොර වෙනුවෙන් යොදා ගන්නා හරකුන්ට මත්පැන් පොවන බවටත්, ඔවුන්ගේ ඇස්වල මිරිස් අතුරන බවටත් ඇතැම් හරක් හිමියන්ට චෝදනා එල්ල වී තිබේ.

බීබීසී දෙමළ සේවය සමඟ අදහස් දක්වමින්, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී රාජ් පන්ජ්වනි කියා සිටියේ මෙම තීන්දුව අනුකම්පාවා සහ දයාව ලැබූ ජයග්‍රහණයක් බවයි.

"ඉන්දියාවේ ව්‍යවස්ථාව සලකා බැලුවොත්, දයාවෙන්, කරුණාවෙන් කටයුතු කරන්න රටේ හැම පුරවැසියෙක්ම බැඳිලා ඉන්නවා. ඒ වගේම කිසිම සතෙකුට අනවශ්‍ය වේදනාවක් හෝ හිංසාවක් නොකරන්න සත්ව හිංසනයට එරෙහි පනත මගින් හැම සතුන් හිමියෙක්ම බැඳිලා ඉන්නවා," යනුවෙන් ඔහු පැවසීය.

එහෙත් ගොන් පොර තමිල්නාඩුවේ සාම්ප්‍රදායික සංස්කෘතික අංගයක් බව පවසන තහනමට විරුද්ධ උද්ඝෝෂකයන් පවසන්නේ, ක්‍රීඩාව සඳහා යොදා ගන්නා හරකුන්ට හොඳින් සලකන බවයි.