එජා සාම සාධක හමුදාවේ පළමු අණදෙන නිලධාරිණිය

  • 2014 මැයි 13
Image copyright AFP

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවකට අණදීමට පළමු වතාවට කාන්තාවක් පත් කොට තිබේ.

සයිප්‍රසයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ අණදෙන නිලධාරිණිය ලෙස පත්කොට ඇති ඇය නෝර්වීජියානු ජාතික මේජර් ජෙනරල් ක්‍රිස්ටීන් ලුන්ඩ්.

යුද හමුදා සේවය

වසර තිස් හතරක විශිෂ්ට යුද හමුදා සේවයක අත් දැකීම් ඇති පනස් පස් හැවිරිදි මේජර් ජෙනරල් ක්‍රිස්ටීන් ලුන්ඩ් ලෙබනනයේ සහ ඇෆ්ගනිස්තානයේ සේවය කොට ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ ප්‍රකාශනයක සඳහන් වෙයි.

ඇය සයිප්‍රසයේ සෙබළුන් සහ පොලිස් නිලධාරීන් නවසිය අනූ හය දෙනකු සහ සිවිල් සේවා නිලධාරීන් එකසිය හතලිස් නවදෙනකුට අණ දීමට නියමිතයි.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බන් කි මූන් නව පත්වීම් ලැබූ මේජර් ජෙනරල් ක්‍රිස්ටීන් ලුන්ඩ් හට සිය ශුභාශිංසනය පුද කරමින් කියා සිටියේ ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉතිහාසයට එක්වන බවයි.

“අපේ දශක හය හමාරක පමණ සාම සාධක මෙහෙයුම් ක්‍රියාවලිය තුළ පිරිමි අණ දෙන නිලධාරීන් රාශියක් සේවය කරලා තියෙනව. නමුත් ඇය මේ තනතුරට පත්වූ පළමු කාන්තාවයි. අද අපි තවත් බාධකයක් බිඳ දමා තිබෙනවා. අද අත්කරගත් මේ ජයග්‍රහණය ආරම්භයක් පමණයි. අපිට තවත් අවුරුදු 66 ක් ඉන්න ඕනෑ නැහැ ඊලඟ කාන්තා හමුදා නිලධාරිණියක් පත් කරගන්න. මම ඇයට ශුභ පතනවා”

අභියෝග

'Associated Press' පුවත් සේවය සමඟ සාකච්ඡාවකට එක්වූ ඇය කියා සිටියේ තමන් නව තනතුරේ අභියෝග භාර ගැනීමට සූදානමින් සිටින බවයි. සයිප්‍රසයේ ක්‍රියාත්මක සටන් විරාමය පවත්වා ගෙන යාම, බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු කර ගෙන යාම, සහ මිය ගිය පුද්ගලයන් සම්බන්ධ වගවීම් සහ ඉඩම් ආරවුල් මේ අතර වන බවයි ඇය ප්‍රකාශ කළේ.

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව තුළ නව පිටුවක් පෙරලීමට තමන්ට හැකිවීම ගැන ආඩම්බර වන බව ඇය පැවසුවාය.

“මේ කාර්යභාරය මට පැවරීම ගැන මම ආඩම්බර වෙනවා. සාම සාධක හමුදාවේ අණදෙන නිලධාරියා වෙන්න මට උවමනාව තිබුනා. මගේ පළමු පත්වීම් ලැබුණ 1986 වසරෙදි මම හිතුව මේ වගේ රැකියාවක් තමයි ඇත්තටම මම කරන්න කැමති කියල”

කුමන්ත්‍රණය

ග්‍රීක රජයේ සහය ඇතිව සයිප්‍රසයේ කුමන්ත්‍රණයක් දියත් කෙරුණ අවස්ථාවෙදී තුර්කිය එරට උතුරු පලාත ආක්‍රමණය කිරීමත් සමග 1974 සිට සයිප්‍රසය බෙදී වෙන්වී පවතී.

එතැන් සිට සයිප්‍රසයේ උතුරේ ජීවත් වන තුනෙන් එකක්ම තුර්කි ජාතික සයිප්‍රස් වාසීන් වන අතර දකුණේ තුනෙන් දෙකක් ග්‍රීක ජාතික සයිප්‍රස් වැසියන්.

1964 සිට සයිප්‍රසයේ සාම සාධක හමුදාවක් ක්‍රියාත්මක වෙමින් තිබේ.