modi
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මෝඩි;ඉන්දියාවේ ‘දේශපාලන සුනාමිය’

Image copyright Reuters

පාලක කොන්ග්‍රස් පක්ෂය පරාජය කරමින් ලද සිය ජයග්‍රහණයෙන් අනතුරුව නරේන්ද්‍ර මෝඩි, ට්විටර් පණිවුඩයක් මගින් කියා සිටියේ ‘ඉන්දියාව ජය ගත් අතර, හොඳ අනාගතයක් උදා වෙමින් ඇති’ බවයි.

2014 මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය ඉන්දියාවේ මී ළඟ ආණ්ඩුව පිහිටුවනු ඇති බවට දේශපාලන අනාවැකි පළ වෙමින් තිබුනත් අලුත් ආණ්ඩුවත් දේශපාලන සභාගයක් විය හැකි බවයි, දේශපාලන අනාවැකි මගින් ප්‍රකාශ කෙරුණේ.

නරේන්ද්‍ර මෝඩිගේ කිට්ටු සගයකු වන අමිත් ෂා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සමයේ ප්‍රකාශයක් කරමින් සිය නායකයාගේ ආගමනය වචන කීපයකින් කුළු ගැන්වූයේ ‘මෝඩි සුනාමියක්’ යන යෙදුමෙන්.

‘මෝඩි’සුනාමිය

අමිත් ෂා අද නිවැරදි කරමින් මෝඩි මේ මොහොතේ ඉන්දීය දේශපාලනය තුළ ‘සුනාමියක්’ වැනි බලයක් බවට පත්ව ඈත.

‘මෝඩි’ දේශපාලන සුනාමියට හසු වූ ඉන්දීය කොංග්‍රස් පක්ෂය මෙම මැතිවරණයේදී ලද්දේ වාර්තාගත පරාජයකි.

Image copyright AP

ඉන්දීය පාලන තන්ත්‍රයේ සිදු වෙන මේ වෙනස පාකිස්තාන් සබඳතා කෙරේ බලපාන ආකාරය කාගේත් අවධානය යොමු වෙන තවත් කරුණකි.

ඉන්දියාවේ හිටපු පාකිස්තාන් කොමසාරිස්වරයකු වන අෂිස් කාන් පවසන්නේ අතීතය නොව ඉදිරිය දෙස බලමින් කටයුතු කළ යුතු අතර සමස්ත ඉන්දියානු ජනයාගේ අගමැතිවරයා හැටියට නරේන්ද්‍ර මෝඩිට විශාල වගකීමක් පැවරෙන බවයි.

මුදල් විසි කළ මැතිවරණයක්

මෙය මුදල් විසි කරමින් මහජන මතයක් ගොඩ නැගූ මැතිවරණයක් යයි කියා සිටින කොන්ග්‍රස් පක්ෂ ප්‍රකාශිකා ප්‍රියංකා චතුර්වේදී ලද පරාජය විශ්ලේෂණය කිරීම මගින් පමණක් පක්ෂය ශක්තිමත් කර ගත හැකි බවයි පවසන්නේ.

දැවැන්ත කොන්ග්‍රසය පරාජය කරමින් නරේන්ද්‍ර මෝඩි කෝටි සංඛ්‍යාත ඉන්දීය ජනයාගේ නව නායකයා බවට පත් වී සිටියත් අනිත් අතින් ඔහු සම්බන්ධයෙන් බොහෝ ඉන්දියානුවන් අතර තවමත් පවතින්නේ අප්‍රසාදයකි .

ඊට එක හේතුවක් 2002 ගුජරාට් හින්දු මුස්ලිම් ගැටුම් වලක්වා ලීමට ඔහුට බොහෝ දේවල් සිදු කළ හැකිව තිබුනත් ඔහු එය පැහැර හරින ලද බවට ඇති විවේචනයයි.

එම ආගම්වාදී ගැටුමේ දී දහසක පමණ ජීවිත විනාශයක් වාර්තා වූ අතර ඔවුන්ගෙන් වැඩිදෙනා මුස්ලිම් ජනයායි.

මුස්ලිම් ජන මැසිවිලි

අනාගත මෝඩි මුස්ලිම්වරුන් කෙරෙහි කවර බලපෑමක් ඇති කරාවිද? යන්න ලෝක අවධානය යොමු වෙමින් ඇති තවත් ප්‍රශ්නයකි.

දකුණු ආසියානු දේශපාලනය පිලිබඳ අත්දැකීම් සහිත ලෝක තොරතුරු පිලිබඳ බීබීසී වාර්තාකරු මයික් වුල්ඩ්රිජ් පවසන්නේ, භාරතීය ජනතා පක්ෂය තමන් සංස්කෘතික ජාතිකවාදීන් මිස දේශපාලන ජාතිකවාදීන් නොවන බව කියා සිටියත් සුළු ජන කොටස් එම ප්‍රකාශය එලෙසින්ම භාර නොගන්නා බවයි.

කෙසේ වුවද භාරතීය ජනතා පක්ෂය සහ එහි අධාරකරුවන් මෙය ඉන්දියාවේ දේශපාලන සන්ධිස්ථානයක් හැටියට විශ්ලේෂණය කළත්, මෙය කිසියම් හෝ සන්ධිස්ථානයක් වන්නේ නරේන්ද්‍ර මෝඩි විසින්ම කියන ලද ආකාරයට ඔහු ඉන්දියාවට හොඳ අනාගතයක් උදා කිරීමට සමත් වුනොත් පමණක් වන බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.