භාරතීය ජනතා පක්ෂයට විශිෂ්ට ජයක්

Image copyright AP

“අනාගතයේ හොඳ කාලයක්” උදා කරන බව භාරතීය ජනතා පක්ෂයේ අගමැති අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි අන්තර් ජාලයට නිකුත් කළ පණිවිඩයකින් කියා සිටියි.

මෙතෙක් නිකුත් ව ඇති ප්‍රතිඵල වලට අනුව භාරතීය ජනතා පක්ෂයේ නායකත්වයෙන් මැතිවරණයට තරඟ කළ විපක්ෂ සන්ධානයට අති විශාල ජයග්‍රහණයක් හිමි ව ඇත.

ආසන 272 කට වැඩි සංඛ්‍යාවක් තනි ව දිනා ගැනීමේ හැකියාව භාරතීය ජනතා පක්ෂයට ඇති බවයි නිල නොවන වාර්තා මගින් ප්‍රකාශ වන්නේ. මේ අනුව අනිකුත් පක්ෂ වල සහයක් නො ලබා තනි ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව ද භාරතීය ජනතා පක්ෂයට හිමි වෙනු ඇත.

ජයග්‍රහණය සැමරීමට සුදානම් වන භාරතීය ජනතා පක්ෂයේ මූලස්ථානය සැණකෙළියක සිරි ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මහා මැතිවරණයෙන් තම පක්ෂය පරාජයට පත් වූ බව දස වසරක් පුරා ඉන්දියාව පාලනය කල කොංග්‍රස් පක්ෂය පිළිගත්තේ ය.

“නිහතමානී ව ජනතා තීන්දුව පිළිගන්නවා” යැයි කොන්ග්‍රස් පක්ෂයේ ප්‍රකාශක ශකීල් අහමඩ් කියා සිටියේ ය.

ඉන්දීය ලොක් සභාවට මන්ත්‍රිවරුන් 543 දෙනෙකු තෝරා ගැනීම සඳහා පැවැත්වෙන මෙම මැතිවරණයේ අවසන් නිල ප්‍රතිඵල අද සවස වන විට නිකුත් වීමට නියමිතයි.

භාරතීය ජනතා පක්‍ෂයේ අති විශිෂ්ට මැතිවරණ ජයග්‍රහණයත් සමඟ මෙයින් ස්වල්ප වෙලාවකට පෙර එහි නායක නරේන්ද්‍ර මෝඩිට දුරකතනයෙන් කතා කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඉන්දියාවේ නව නායකයාට ශුභ පතමින් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා ආරාධනයක් ද කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර