සර්බියාවේ ගංවතුර රැල්ලක්

Image copyright Reuters
Image caption ජල මට්ටම වැඩි වශයෙන් ඉහළ යාම නිසා ගංගා ඉවුරු පුපුරා යාමේ අවදානමක් පවති

සර්බියාවේ සාවා ගංගාව පිටාර ගැලීම හේතුවෙන් 'ගංවතුර රැල්ල' නමින් ඔවුන් හඳුන්වන තත්වයට මුහුණ දීමට සැරසෙමින් සිටින බව සහන සේවකයෝ පවසති.

සතියක් මුළුල්ලේ පැවති දැඩි වැසිවලින් අනතුරුව බටහිර බෝල්කන් කලාපයේ හටගත් නායයෑම් හා ගංවතුර හේතුවෙන් විසි දෙනකුවත් මිය ගොස් තිබේ.

මේ වන විට සර්බියාවේ අගනුවර වර්ෂාපතනය අඩු වී ඇති නමුත් අසල්වැසි ක්‍රොයේශියාවේ සහ බොස්නියාවේ වැසි ජලය සාවා ගංගාවට එක්වනු ඇතැයි අපේක්ෂිතයි.

ප්‍රදේශයේ විපතට පත් පිරිස් අමතා ඔබ්රෙනෝවැක් නගරයේ සේවයේ නියුතු සහන සේවකයෙක් බලධාරීන් ලබා දී ඇති උපදෙස් පිළිපදින ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

"අපිට සහයෝගය දක්වපු ස්වේච්ඡා සේවකයන්, හමුදා නිලධාරීන් ඇතුළු පරිපාලනයට මම ස්තුතිවන්ත වෙනවා. නමුත් මට ඒ වගේම කියන්න ඕනි සමහර මිනිස්සු ඉන්නවා මේ අවදානම තේරුම් ගන්නේ නැති නැත්තන් එහෙම අයගේ මානසිකත්වයේ ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන් දේපොළ අත හැරලා යන්නේ නැහැ," යනුවෙන්ද ඔහු පැවසීය.

ගංගා ජල මට්ටම එන්න එන්නම ඉහළ යාම හේතුවෙන් ගංගා ඉවුරු පුපුරා යාමේ අවදානමක් පවතින අතර ගංවතුර රැල්ල හේතුවෙන් සර්බියාවේ නිකොලා ටෙල්සා ප්‍රධාන විදුලි බලාගාරයට ද හානි සිදු විය හැකි බවට බලධාරීහු අනතුරු අඟවති.