වයිකෝ පොලිස් අත්අඩංගුවේ

Image copyright AFP
Image caption ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයට විරෝධය පාමින් දෙදහස් හය වසරේ දී උද්ඝෝෂණයේ යෙදුණු වයිකෝ

නරේන්ද්‍ර මෝඩි නව ඉන්දීය අගමැති වශයෙන් දිවුරුම් දීමේ සමාරම්භක උළෙලට ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ සහභාගී වීමට විරෝධය පාමින් උත්සවය පැවැත්වෙන දිල්ලි අගනුවර උද්ඝෝෂණයේ යෙදුණු එම් ඩී එම් කේ නායක වයිකෝ ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

උත්සවය පැවැත්වෙන අවස්ථාවේ උද්ඝෝෂණ පැවැත්වීම සම්බන්ධයෙන් තහනම් නියෝගයක් නුකුත් කර තිබුණ අතර එම නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් වයිකෝ ඇතුළු උද්ඝෝෂණයේ යෙදුණු පිරිස අත් අඩංගුවට ගත් බවයි පැවසෙන්නේ.

නවදිල්ලි අගනුවර ‘ජන්තාර් මන්තර්’ භූමි ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයේ දී ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ විරෝධී සටන් පාඨ කියමින් මාර්ග බාධක බිඳ දැමූ උද්ඝෝෂකයන් විරෝධතාවය පැවති ප්‍රදේශයෙන් ඔබ්බට ගමන් කිරීමට උත්සාහ ගත් අවස්ථාවේ දීයි එම් ඩී එම් කේ නායක වයිකෝ ඇතුළු පිරිස අත්අඩංගුවට ගනු ලැබ තිබෙන්නේ.

කනගාටුව

ඉන්දීය අගමැති දිවුරුම් දීමේ උත්සවයට ජනපති මහින්ද රාජපක්ෂ ආරාධනා ලත් අවස්ථාවේ එම් ඩී එම් කේ නායක වයිකෝ ලිපියක් යොමු කරමින් භාරතීය ජනතා පක්ෂ නායක මෝඩිට එම ආරාධනය පිළිබඳව ඔහුගේ කනගාටුව ප්‍රකාශ කර තිබුණි.

මීට ඉහත දෙදහස් හතර සහ දෙදහස් නවය යන වසරවල පැවති අගමැති දිවුරුම් දීමේ උළෙලවල් සඳහා ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ ආරාධනා නොලත් බවයි වයිකෝ පවසා ඇත්තේ.

මේ අතර තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා සහ ඩී එම් කේ පක්ෂ නායක එම් කරුණානිධි ද ජනපති මහින්ද රාජපක්ෂ ආරාධනයට විරෝධය පළ කර සිටිති.

චෙන්නායි විරෝධය

දිල්ලි අගනුවර පැවති උද්ඝෝෂණයත් සමග චෙන්නායි නුවර ද මහින්ද රාජපක්ෂ විරෝධී උද්ඝෝෂණ ආරම්භ වී ඇති බවයිවාර්තා වන්නේ.

එම් ඩී එම් කේ පක්ෂ ක්‍රියාකාරීහු ජනපති මහින්ද රාජපක්ෂගේ රුව සහිත පුවරු පුළුස්සා දමමින් අගමැති දිවුරුම් දීමේ උළෙලට ජනපති මහින්ද ලද ආරාධනයට විරෝධය පළ කළහ.

මේ අතර දේශපාලන ක්ෂේත්‍රයේ ඓතිහාසික අවස්ථාවක් සනිටුහන් කරමින් එම දිවුරුම් දීමේ උළෙලට පාකිස්තාන් නායක නවාස් ෂෙරිෆ් සභාගී වෙන අතර ඔහු සහ නව අගමැති නරේන්ද්‍ර මෝඩි අතර හමුවක් හෙට අඟහරුවාදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාත් හෙට ඉන්දීය නව අගමැතිවරයා මුණ ගැසීමට නියමිතයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර