ශ්‍රී ලංකා ජනාධිපති හා ඉන්දීය නව අගමැති අතර සාකච්ඡා

ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඉන්දියාවේ නව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි දිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කරයි.

නායකයෝ දෙදෙන අන්‍යෝන්‍ය වැදගත්කමක් සහිත විෂයයන් පිළිබඳව ගැඹුරින් අදහස් හුවමාරු කර ගත් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

පුනරුත්ථාපන, නැවත පදීචි කිරීම්, සහ ප්‍රතිසංවර්ධන යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර සහ වත්මන් සමගි සන්ධාන ක්‍රියාදාමය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් විස්තර කළ බවත් එහි සඳහන් වේ.

නායකයන් දෙදෙනා දෙරටේ ධීවරයන්ගේ ප්‍රශ්නය සහ දෙරටේම ධීවරයන්ගේ අදහස් උදහස් සැළකිල්ලට ගනිමින් තිරසාර විසඳූමක් සෙවීම පිණිස ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කළ බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කරයි.

ධීවරයන් අතර සාකච්ඡා සහ නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ රැස්වීම් අඛණ්ඩව සිදූ කළ යුතු බවටද නායකයන් දෙදෙන එකඟ වී ඇති බවත් නිවේදනයේ සඳහන් වේ.

සාක් ව්‍යාපෘතීන්ගේ සාර්ථකත්වයට ඉන්දියාවේ නායකත්වය තීරණාත්මක බව පැවසූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සාක් ක්‍රියාකාරිත්වය ඉදිරියට ගෙන යාමේ දී ඉන්දියාව සමග එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව පැවසූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සිය නිවේදනයේ තවදුරටත් සඳහන් කළේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර