රුසියාවට හිතවත් කැරලිකරුවන්ට ගුවනින් ප්‍රහාර

Image copyright Reuters
Image caption යුක්‍රේනය ප්‍රහාරක ගුවන් යානා යොදා ගත් බවයි කැරලිකරුවන් කියා සිටින්නේ

නැගෙනහිර යුක්රේනයේ දනේත්ස්ක් නගරයේ රුසියාවට හිතවාදී කැරලිකරුවන් විසින් අල්ලා ගෙන සිටි ගුවන් තොටුපල නැවතත් සිය භාරයට ගත් බව යුක්‍රේන බලධාරීන් පවසති.

ගුවන් තොටුපල අත්පත් කර ගැනීම වෙනුවෙන් කළ සටනේ දී සැලකිය යුතු පිරිසක් ජීවිතක්ෂයට පත් වූ බවයි ඔවුන් පවසන්නේ.

කෙසේ නමුත් එහි තවමත් වෙඩි ප්‍රහාරවල හඬ අසන්නට ලැබෙන බව ගුවන්තොටුපොළ අවට සිටින බීබීසී වාර්තාකරුවන් කියා සිටිති.

සටනේ දී කැරලිකරුවන් තිස් දෙනෙකු පමණ මිය ගිය බව පවසන රුසියාවට හිතවාදී කැරලිකරුවන්, යුක්‍රේන ආණ්ඩුව ප්‍රහාරය දියත් කිරීම සඳහා ප්‍රහාරක ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා යොදා ගත් බවයි කියා සිටින්නේ.

ඇමරිකාවේ හා යුරෝපයේ මැදිහත් වීමකින් තොරව රුසියාව සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන්නේ නැති බවයි යුක්‍රේන අගමැති ආර්සෙනි යට්සෙසේනියුක් පවසන්නේ.

යුක්‍රේන ජනාධිපතිවරණයෙන් පෙත්රෝ පොරෝශේන්කෝ ජය ලබා දිනක් ගත වනවාත් සමග නැගෙනහිර යුක්‍රේනයේ මේ වන විට ඉතා අවිනිශ්චිත තත්වයක් මතු වෙමින් තිබේ.

මේ අතර රුසියාවට හිතවත් බෙදුම්වාදීන්ට එරෙහිව නැගෙනහිර ප්‍රදේශයේ දියත් කරනු ලබන මෙහෙයුම් නවත්තන මෙන් රුසියානු ජනපති පුතින් කිවූ පාලනයෙන් ඉල්ලීමක් කර තිබේ.

රුසියානු ජනපති මෙසේ ඉල්ලීමක් කර ඇත්තේ නැගෙනහිර යුක්‍රේනයේ දනේත්ස්ක් ගුවන් තොටුපල යුක්‍රේනය විසින් යළි සිය භාරයට ගැනීමෙන් අනතුරුවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර