පොලීසිය පහරදීම බලා සිටියා - ෆර්සානාගේ ස්වාමියා

පාකිස්තාන්, ලාහෝර් නුවර මහාධිකරණ ගොඩනැගිල්ල අසලදී ගැබිණි කාන්තාවකට පහරදී මරා දැමීමේ සිද්ධියෙන් මුළුලොවම කම්පාවට පත්විය.

Image copyright Reuters
Image caption පොලීසිය සාක්ෂි විභාග කරමින්

තමන්ගේම පවුලේ සාමාජිකයන් විසින් ගල් ගසා මරා දමන ලද පාකිස්තාන් කාන්තාවගේ ස්වාමිපුරුෂයා පැවසුවේ පහරදීම් සිදුවන අවස්ථාවෙහි පොලීසිය එදෙස බලාසිටි බවයි.

ෆර්සානා පර්වීන් නමැති ගැබ් ගෙන සිටි එම කාන්තාවට ලාහෝර් අධිකරණයක් ඉදිරිපිටදී ගඩොල් කැට සහ ගල් මුල්වලින් පහර දෙන ලද්දේ බොහෝ දෙනකු බලා සිටියදීයි.

පවුලේ විරෝධතාව මැද ඇය තමන් කැමති පුද්ගලයකු සමඟ විවාහ පත්වීමයි කෝපයට පත් වූ ඇගේ පවුලේ ඥාතීන් අතින් මිය යන තුරු ෆර්සානා පර්වීන් පහරකෑමට හේතු වුණේ.

“ගැබ් ගෙන සිටි ෆර්සානා මරා දමන තුරු ඔවුන් බලා හිටියා, බේරගන්න කිසිවක් කළේ නැහැ,” ඇගේ ස්වාමියා මොහමඩ් ඉක්බාල් බීබීසියට පැවසුවේය.

පවුලේ කීර්තිය

පවුලේ කීර්තිය රැක ගැනීම වෙනුවෙන් පාකිස්තානයෙන් සෑම වසරකම වාර්තාවන මෙවැනි ඝාතන සංඛ්‍යාව සිය ගණනක්.

සිද්ධිය ඇසීමෙන් තමන් ඉතාමත්ම කම්පනයට පත්වූ බව මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවී පිල්ලේ ප්‍රකාශ කළාය.

මේ තත්වය වැළැක්වීමට කඩිනම් සහ තදබල පියවර ගන්නා ලෙස ඇය පාකිස්තාන් රජයෙන් ඉල්ලා සිටියාය.

කීර්තිනාමය වෙනුවෙන් සිදු කෙරෙන්නක්ය යන්න පවා සඳහන් කිරීමට තමන් අකමැති බව පැවසූ ඇය මේ ආකාරයට කාන්තාවක් මරා දැමීම තුළ ගෞරවයක අල්ප මාත්‍ර ඡායාවක් හෝ දක්නට නැති බවයි පැවසුවේ.

අමානුෂිකයි

Image caption ෆර්සානා පර්වීන්

ෆර්සානාට ගල් මුල් වලින් පහර දීම නතර කිරීමට අපොහොසත් වූ පොලීසිය නිර්ලජ්ජී සහ අමානුෂික ලෙස හැසිරුණ බවයි ඇගේ ස්වාමියා මොහමඩ් ඉක්බාල් කියා සිටියේ.

“අපි උදව් ඉල්ලා කෑගැහුවා. ඒත් කවුරුවත් ඇහුම්කන් දුන්නේ නැහැ. පොලීසිය ගෙන්වා ගන්න, ඔවුන්ගේ අවධානය යොමු කරන්න, මගේ ඥාතියෙක් ඇඳුම් ගැලෙව්වා. ඒත් පොලීසිය මැදිහත් වුනේ නැහැ.” ඔහු තවදුරටත් පැවසුවේය.

දෙමව්පියන් විසින් දියණියන් සඳහා සූදානම් කරන විවාහවලට පාකිස්තානයේ ඇත්තේ විශාල පිළිගැනීමක්.

මේ නිසා ඉතාමත්ම ගතානුගතික අදහස් මුල්බැස ගත් පාකිස්තාන් සමාජයේ දෙමව්පියන්ට එරෙහිව විවාහ පත්වීම සිතන්නට පවා අසීරු කරුණක්.

ෆර්සානා පර්වීන් අමානුෂික ලෙස මරාදැමීම මගින් මුළු ලෝකයම කම්පාවට පත් විය.

මේ ගැන පාකිස්තාන් සමාජය තුල විශාල අවධානයක් යොමු නොවන බවයි මානව හිමිකම් ක්‍රියාධාරිණියක සහ The Elders , ජාත්‍යන්තර සංවිධානයේ සාමාජිකා හිනා ජිලානි පවසන්නේ.

“ කාන්තාවන් කාටවත් නොදැනෙන්න රාත්‍රී කාලයේදී වල දමනවා . කාවද වලලන්නේ කියල කවුරුවත් දන්නේ නැහැ. සමාජයේ හරිම උදාසීනකමක් තියෙන්නේ, නෛතික වශයෙන් මේ ගැන අවධානයක් යොමුවන්නේත් නැහැ. නීති රීති සම්පාදනය කරලා තියෙන්නෙත් කීර්තිය වෙනුවෙන් කාන්තාවන් මේ වගේ මරල දමන අය විසින්මයි.” ඇය ප්‍රකාශ කළාය.

ඇල් මැරුණ ප්‍රතිචාරයක්

මේ ඝාතනය පාකිස්තානයේ කුඩා නමුත් සමාජයේ ප්‍රබල හඬක් නගන පිරිස් භීතියට පත්කොට ඇති බවයි කරච්චි නුවර බීබීසී වාර්තාකරු ශාෂිබ් ජිලානි පැවසුවේ.

“ සමාජ වෙබ් අඩවි ක්‍රියාකාරිකයන්, ට්විටර් සහ ෆේස් බුක් වෙබ් අඩවි ඔස්සේ සිය කම්පාව සහ භීතිය පල කොට තිබෙනවා. ඉංග්‍රීසි බසින් පල කරන ප්‍රවෘත්ති පත්‍ර සිය කතෘ වාක්‍ය මගින් ඉතාමත්ම බරපතල ලෙස මේ ම්ලේච්ඡ අපරාධය හෙලා දැක තිබෙනවා. නමුත් ප්‍රධාන පෙළේ උර්දූ බසින් පල කෙරෙන පුවත් පත් දක්වල තියෙන්නේ ඇල් මැරුණ ප්‍රතිචාරයක්. ඔවුන් වැඩි අවධානයක් දක්වල තිබුණේ දේශපාලන සහ ආරක්ෂාව සම්බන්ධ ප්‍රවෘත්ති වලට. ” ඔහු සඳහන් කළේය.

“මෙහෙම සිද්ධ වෙන්නේ පාකිස්තාන් නගරවල සහ ගම්මානවල කීර්තිනාමය වෙනුවෙන් කාන්තාවන් මරා දැමෙන බව දැන දැන. ඔවුන් සලකන්නේ මේක පවුලේ ප්‍රශ්නයක්. දෙපැත්තටම කරුණු කියන්න පුළුවන් . ඔන්න ඔය වගේ අදහසක් තමයි ඔවුන් දරන්නේ.” කරාචි නුවර බීබීසී වාර්තාකරු ශාෂිබ් ජිලානි තවදුරටත් පැවසුවේය.

තර්ජන

මරා දැමුණ පර්වීන්ගේ පියා පසුව පොලීසියට භාර වූ නමුත් පහර දීමට සම්බන්ධ වූ සෙසු ඥාතීන් තවමත් නිදැල්ලේ පසුවන බවටයි වාර්තා වන්නේ.

ඔවුන් තමන්ටත් තම පවුලේ අයටත් තර්ජනය කරන බවයි පර්වීන් ගේ ස්වාමියා වන මොහමඩ් ඉක්බාල් පැවසුවේ.

Image caption ස්වාමියා මොහමඩ් ඉක්බාල්

“මළ සිරුර හොරෙන් රැගෙන යන බව ඔවුන් ඉකුත් අඟහරුවාදා පැවසුවා. අපි මෙහෙට ආවේ පොලීසියත් එක්ක,” ඔහු තවදුරටත් පැවසුවේය.

පළාතේ පොලිස් ප්‍රධානියා පැවසුවේ කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් සෙසු පුද්ගලයන් පිළිබඳව පරීක්ෂණ දියත් කොට ඇති බවයි.

මියගිය ෆර්සානා පර්වීන් ගේ උපන් ගම පිහිටියේ ලාහෝර් නගරයෙන් පිටත පිහිටි කුඩා නගරයක.

වාර්තාවන ආකාරයට ඇගේ පවුල විසින් තෝරා ගත් තැනැත්තෙකු සමඟ විවාහ නොවී ඉක්බාල් සමඟ එක්වීමට ඇය ගත් තීරණය හේතුවෙන් පවුලේ අය කෝපාවිෂ්ටවී සිටිති.

ඇගේ ඥාතීන් විසින් ඉක්බාල්ට එරෙහිව මහ අධිකරණයේ නඩුවක් පවරා තිබුනේ මේ නිසායි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර