මිත්‍ර හමුදා ප්‍රංශයට ගොඩ බැසීම සැමරේ

Image copyright Getty

නාසි ජර්මනියෙන් යුරෝපය මුදවා ගැනීමේ සටන අරඹමින් මිත්‍ර හමුදා උතුරු ප්‍රංශයට ගොඩ බැසීමේ හැත්තෑ වෙනි සැමරුම් උළෙල අදයි.

ජය හෝ මරණය තීරණය වන දිනය (D Day) ලෙස නම් කෙරුණ එම මෙහෙයුම ලෝක ඉතිහාසයට එක්ව ඇත්තේ මුහුදු වෙරළකට වැඩිම හමුදා භට පිරිසක් ගොඩ බැස්සවූ යුද සටන හැටියටයි.

ප්‍රංශ ජනාධිපති ප්‍රන්ශුවා ඔලොන්ඩ් සහ ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා කොල්විල් ස්ර් මයර් හි (Colleville-sur-Mer) පිහිටි ඇමෙරිකානු යුධ සොහොන් බිමේ දී යුධ විරුවන් ඇමතූහ.

දෙවන එළිසබෙත් රැජිණ බයර් හි (Bayeux) පිහිටි බ්‍රිතාන්‍ය යුධ සොහොන් බිමේ දී පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල යුධ විරුවන් හමු විය.

එම සොහොන් බිමෙහි නව දහසකට අධික ඇමෙරිකානු සෙබළුන් ගේ සිරුරු මිහිදන් කර තිබේ.

නොර්මන්ඩි වෙරළ තීරයේදී ජීවිත පරිත්‍යාග කළ ත්‍රිවිධ හමුදා සෙබළුන් අනුස්මරණය කරන විශේෂ සැමරුම් උළෙලකට ද බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණ, ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා, ප්‍රංශ ජනාධිපති ඔලොන්ඩ්, රුසියානු ජනාධිපති ව්ලදීමීර් පුතින් ඇතුළු රාජ්‍ය නායකයෝ සහ යුධ විරුවෝ සහභාගී වීමට නියමිතයි.

Image copyright AFP Getty

සිකුරාදා අනුස්මරණ උත්සව ආරම්භ කෙරුණේ යුධ මෙහෙයුම ආරම්භ කරමින් පළමු සටන සිදු කෙරුණ උතුරු ප්‍රංශයේ පෙගසස් පාලම (Pegasus Bridge) අසල බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ පැවති දිවි පිදූවන් සිහි කිරීමේ උත්සවයකින් පසුවයි.

යුධ මෙහෙයුමේ දී පළමු ප්‍රහාරය ආරම්භ කර තිබුණේ මීට දශක හතකට පෙර 1944 වසරේ ජුනි පස්වැනිදා මධ්‍යම රාත්‍රියේ.

1944 වසරේ දී මිත්‍ර පාක්ෂික ඇමෙරිකානු හමුදා ගොඩබට ඕමා වෙරළ (Omah Beach) තීරයේ එම මෙහෙයුම සිහිපත් කරමින් ඇමෙරිකානු හමුදා විසින් අද අළුයම හමුදා පෙළපාලියක් පවත්වන ලදී.