මෝසුල් නුවර බලය ඉස්ලාමීය අන්තවාදීන් අතට

Image copyright Reuters
Image caption මොසුල්හි ඉරාක ආණ්ඩුව සතු ප්‍රධාන ගොඩනැගිලි ඉස්ලාමීය කැරලිකරුවන් අතට පත්ව තිබේ.

ඉරාකයේ දෙවන විශාලතම නගරය, මෝසුල් හි පාලන බලය අත් පත් කරගත් ඉස්ලාමීය අන්තවාදීහු නගරයේ පිහිටි ඉරාක ආණ්ඩුව සතු ප්‍රධාන ගොඩනැගිලි සියතට ගත්හ.

මේ වන විට ප්‍රාදේශීය ගුවන් තොටුපළේ පාලනය නතු කර ගෙන සිටින ඉරාකයේ සහ ලෙවන්ට් කලාපයේ ඉස්ලාමීය සටන් කරුවන් බන්ධනාගාර රැඳවියන් සිය ගණනක් මුදා හැර තිබෙන බව බලධාරීහු පවසති.

හමුදා සහ පොලිස් නිලධාරීන් ඔවුන්ගේ තනතුරු වලින් ඉවත් වී ඇති අතර දහස් ගණනක් වූ නගර වැසියන් නගරය අත්හැර යමින් සිටිති.

මේ වන විට පළාත් ආණ්ඩුකාරවරයා ද නගරය හැර ගොස් සිටින බව විශ්වාස කෙරේ.

මොසුල් නගරයේ පූර්ණ බලය ත්‍රස්තවාදීන් අතට ගෙන ඇති බව පවසන ඉරාක පාර්ලිමේන්තුවේ කථානායකවරයා, හැකි ඉක්මනින් ඉරාක හමුදා මොසුල් නගරය වෙත යවන මෙන් ඉල්ලා සිටියේය.