‘ලෝක පාපන්දු තරඟාවලියට සූදානම්’- බ්‍රසීලය

Image copyright AFP

තවත් දින දෙකකින් බ්‍රහස්පතින්දා ආරම්භ කෙරෙන ලෝක පාපන්දු ශූරතා තරඟාවලිය සැලසුම් කළ පරිදි පෙරට ගෙන යාමට තම රට සූදානම් යයි බ්‍රසීල ජනාධිපති ඩිල්මා රවුසෙෆ්(Dilma Rousseff) ප්‍රකාශ කරයි.

ජාතික රූපවාහිනිය ඔස්සේ අදහස් පළ කළ ජනාධිපතිවරිය කියා සිටියේ, ලෝක පාපන්දු ශූරතා තරඟාවලිය වෙනුවෙන් වැය කරන ධනය රට සඳහා කෙරෙන දිගු කාලීන ආයෝජනයක් වන බවයි.

ලෝක පාපන්දු ශූරතා තරඟ ඉතිහාසයේ වැඩිම වැයක් වාර්තා වෙන තරඟාවලිය ලෙස සැලකෙන්නේ බ්‍රසීල තරඟාවලියයි.

මෙම 2014 තරඟාවලියේ සත්කාරක රට බවට පත්වීම සම්බන්ධයෙන් බ්‍රසීලය තුළ විරෝධතා ව්‍යාපාර ගණනාවක් ම දියත් වුණි.

වර්ජන තර්ජන

Image copyright Reuters

තරඟාවලියේ පළමු තරඟය පැවැත්වෙන ‘සාඕ පවුලෝ’ ක්‍රීඩාංගනයේ ඉදි කිරීම් කටයුතු තවමත් සිදු කෙරෙමින් පවතින බවත් මේ අතර වාර්තා වෙයි.

‘සාඕ පවුලෝ’නගරයේ උමං දුම්රිය සේවකයන් වැඩවර්ජනයක් ආරම්භ කරණ බවට යළි තර්ජන ඉදිරිපත් කෙරෙමින් පවතින අතරවාරයේ සංවිධායක කමිටුවේ ප්‍රධානී රිකාර්ඩෝ ට්‍රේඩ්, බීබීසියට ප්‍රකාශයක් කරමින් එම පියවර විග්‍රහ කළේ ඉතා කණගාටුදායක සිදු වීමක් හැටියටයි.

එහෙත් බ්‍රසීලයේ නිවාස අහිමි කම්කරු ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, තරඟාවලිය පැවැත්වෙන කාලය ඇතුළත යළි විරෝධතා ව්‍යාපාර දියත් නොකරන බවයි.

බ්‍රසීලයේ නිවාස අහිමි කම්කරු ව්‍යාපාරය 2014 ලෝක පාපන්දු ශූරතා තරගාවලියේ සත්කාරක රට හැටියට බ්‍රසීලය ක්‍රියා කිරීමට එරෙහිව කලින් දියත් කෙරුණාඋද්ඝෝෂණ වලට සහයෝගය දුන් සංවිධානයකි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර