සෝල් නුවර ආගමික මධ්‍යස්ථානයක් වටලයි

Image copyright Reuters
Image caption නෞකාව ගිලීගියේ එහි ගමන් ගත් පාසැල් දරුවන් ඇතුළු තුන්සියයකට අධික පිරිසක් ද සමගයි

පසුගිය අප්‍රේල් මාසයේ දකුණු කොරියාවේ සිදුවූ නැවක් ගිලී යාමේ සිදුවීමට සම්බන්ධ බවට සැක කෙරෙන ව්‍යාපාරිකයෙකු සෙවීමේ මෙහෙයුමට දකුණු කොරියානු පොලිස් නිලධාරීන් හය දහසක් යොදවා තිබේ.

එහෙත් සෝල් නුවර දකුණු දිග ප්‍රදේශයේ ඇති “ඉවන්ජෙලිකල් බැප්ටිස්ට් පල්ලියේ” ආගමික එකමුතුවකට අයත් ස්ථානයක් වැටලීමෙන් එහි ප්‍රබල සාමාජිකයෙකු බවට සැලකෙන ව්‍යාපාරික යූ බ්යුන් උන් සොයා ගැනීමට පොලීසිය සමත්වී නැත.

වයස හැත්තෑ දෙකක් වන ව්‍යාපාරික යූ බ්යුන් ගිලීගිය නැව අයත් “චෝන්ගීජින්” නැව් සමාගමේ ප්‍රධානියා ද වෙයි.

“සේවොල්” මගී නෞකාව ගිලීගියේ එහි ගමන් ගත් පාසැල් දරුවන් ඇතුළු තුන්සියයකට අධික පිරිසක් ද සමගයි.

යූ බ්යුන් පොලීසියට අවශ්‍ය වී ඇත්තේ විශ්වාසය කඩ කිරීම, වගකීම් නොසලකාහැරීම මෙන්ම බදු ගෙවීම පැහැර හැරීම යන චෝදනා සම්බන්ධවයි.

යූ බ්යුන් හා ඔහුගේ පුතුන් පොලීස් මෙහෙයුම් වලට අසුනොවී බේරී සිටින්නේ මසක පමණ කාලයක සිට වන අතර ඔහු පිළිබඳව තොරතුරක් සපයන්නෙකුට ඩොලර් මිලියන භාගයක තෑග්ගක් පිරිනමන බවද ප්‍රකාශයට පත්කර තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර