බංග්ලාදේශයේ යුද අපරාධ නඩු තීන්දුවක් කල් යයි

Image copyright Reuters
Image caption අවි ආයුධ ජාවාරමකට වරදකරු වූ නිසාමිට මේ වසර මුලදී මරණ දණ්ඩනය නියම කරන ලදී

බංග්ලාදේශයේ ජමාත් ඊ ඉස්ලාමි පක්ෂයේ නායකයාට එරෙහිව තිබූ නඩුවක තීන්දුව ලබා දීම, එරට යුද අපරාධ පිළිබඳ වූ අධිකරණයක් විසින් කල් දමා තිබේ.

බන්ධනාගාර ගත කර සිටින ‘ජමාත් ඊ ඉස්ලාමි’ පක්ෂ නායකයාගේ අයහපත් සෞඛ්‍ය තත්වය නිසා අධිකරණයට ඉදිරිපත් විය නොහැකි බව ඔහුගේ වෛද්‍යවරුන් අධිකරණයට දැන්වීමෙන් අනතුරුවයි නඩුව පසුවට කල් දමා තිබෙන්නේ.

ජනසංහාර, මිනීමැරුම්, වධහිංසා හා දුෂණ යන චෝදනා මත මොටිඋර් රහ්මාන් නිසාමි, පක්ෂ නායකයාට එරෙහිව නඩු පවරා තිබේ.

එක්දහස් නවසීය හැත්තෑඑක වසරේ පාකිස්තානයෙන් නිදහස ලබා ගැනීමට බංග්ලාදේශය ගෙන ගිය යුද්ධයේ දී ‘නිසාමි’ නායකත්වය ලබා දුන් සටන් කණ්ඩායම් විසින් සිදු කරන ලද මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳවයි මේ චෝදනා එල්ල වී තිබෙන්නේ.

අවි ආයුධ ජාවාරමකට වරදකරු වූ නිසාමිට එරට අධිකරණය විසින් මේ වසර මුලදී මරණ දණ්ඩනය නියම කරන ලදී.

'ජමාත් ඊ ඉස්ලාමි' පක්ෂය බංග්ලාදේශයේ තිබෙන විශාලතම පක්ෂයයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර