ශ්‍රී ලාංකික අනාථයන් පිළිසරණක් නොමැති තත්වයක

Image copyright Reuters

ශ්‍රී ලාංකිකයන් එකසිය පනස් තුන් දෙනකු රැගෙන ක්‍රිස්මස් දූපත කරා යාත්‍රා කරමින් ඇති බෝට්ටුව සමඟ අදහස් හුවමාරු කර ගනිමින් සිටි නමුත් සෙනසුරාදා උදෑසන පටන් එම සබඳතා ඇනහිට ඇති බව අනාථයන් පිලිබඳ ඕස්ට්‍රේලියානු ක්‍රියාකාරී සංවිධානයේ සම්බන්ධීකාරක ඉයන් රින්ටෝල් පවසයි.

බීබීසිය සමඟ සිදු කළ සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ, සබඳතා නතර වී පැය නවයක් පමණ ගතව ඇති අතර තමන් ඒ ගැන කනස්සල්ලෙන් පසු වෙන බවයි.

බෝට්ටුවේ ඉන්ධන අවසන් වෙමින් පවතින හෙයින් අවදානම් තත්වයක් පවතින බවයි ඉයන් රින්ටෝල් පෙන්වා දෙන්නේ.

දෙමළ අනාථයන්

Image copyright ROCHMAN AFP GETTY

බෝට්ටුවේ සිටින සියලු දෙනාම ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් වන බවත් අනාථයන් පිළිබඳ ඕස්ට්‍රේලියානු ක්‍රියාකාරී සංවිධානයේ සම්බන්ධීකාරක නිලධාරියා පවසයි.

“බෝට්ටුවේ එකසිය පනස් තුන් දෙනෙක් ඉන්නවා. ඔවුන් අතර ළමයිනුත් ඉන්නවා. ඕස්ට්‍රේලියානු රැකවරණ පතා පැමිණි බවයි ඔවුන් කියන්නේ” අනාථයන් පිළිබඳ ඕස්ට්‍රේලියානු ක්‍රියාකාරී සංවිධානයේ සම්බන්ධීකාරක ඉයන් රින්ටෝල් සඳහන් කරයි.

එම සරණාගතයන්ට ඔස්ට්‍රේලියාව දැන් අනුගමනය කරන පිළිවෙත ගැන අවබෝධයක් නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.

ආපසු යැවීමේ උත්සාහයක්

“ඕස්ට්‍රේලියානු රජය දේශපාලන රැකවරණ පතා එන සියලු දෙනාම ආපසු හරවල යවනවා. මුලින් ම සිද්ධ වෙන්නේ ‘නවුරු’ දූපත්වලට හරි වෙනත් දූපතකට යවල ඊ ලඟට ඔවුන්ගේ ඉල්ලීම් සලකා බලන එකයි. නමුත් මේ බෝට්ටුවේ විශාල සංඛ්‍යාවක් ඉන්න නිසා ක්‍රිස්මස් දූපතට යවාවි” ඉයන් රින්ටෝල් අනුමාන කරයි.

ඔහු අවසාන වශයෙන් කියා සිටියේ ඕස්ට්‍රේලියානු රජය මෙම අනාථයන් කණ්ඩායම ගමන් ආරම්භ කළ ඉන්දියාවට හෝ ශ්‍රී ලංකාවට යැවීමට උත්සාහ කළ හැකි බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර