ක්‍රීඩා ඉතිහාසයේ බ්‍රසීලයේ මහා පරාජය

Image copyright AP

බ්‍රසීල පාපන්දු ක්‍රීඩා ඉතිහාසයේ වාර්තා වූ මහා පරාජය එරට පමණක් නොව සමස්ත ලෝකයේම ක්‍රීඩාලෝලීන්ගේ අවධානයට ලක් වෙමින් පවතී.

2014 ලෝක පාපන්දු ශූරතාව දිනා ගැනීමේ අපේක්ෂාව අතින් ඉදිරියෙන් ම සිටි රටක් වන බ්‍රසීලය ජර්මන් අභියෝගය හමුවේ ලද්දේ අනපේක්ෂිත දැවැන්ත පරාජයකි.

මෙම තරඟාවලියේ සත්කාරක රට වන්නේ බ්‍රසීලයයි.

ඊයේ, අඟහරුවාදා ‘බෙලු ඔරිෂෝන්ටේ’හි පැවැත්වුන අවසාන පූර්ව තරඟයෙන් බ්‍රසීලය පරාජය වුණේ ජර්මනිය ලබා ගත් ගෝල් හතකට පිළිතුරු වශයෙන් එක් ගෝලයක් පමණක් ලබා ගණිමිනි.

එම තරඟයේ පළමු විනාඩි විසි නවය ඇතුළත ගෝල් පහක් ම වාර්තා කිරීමට ජර්මන් පාපන්දු කණ්ඩායම සමත් වූහ.

ජනාධිපතිනියගේ ශෝකය

Image copyright AFP
Image caption පරාජිත බ්‍රසීල කණ්ඩායම

සිය රටේ පාපන්දු කණ්ඩායම ලද මහා පරාජයෙන් තමා බලවත් කනගාටුවට පත්ව සිටින බවයි බ්‍රසීල ජනාධිපතිනි ඩිල්මා රුසේෆ් පවසන්නේ.

මේ අතර ජර්මනියේ ප්‍රධාන නගරවල ක්‍රීඩාලෝලීන් ප්‍රීති ප්‍රමෝදයෙන් ඉපිල ගිය ආකාරය රූපවාහිනී දර්ශන මගින් ප්‍රදර්ශනය කෙරිණ.

ලොව පුරා ‘ට්විටර්’ පණිවුඩ මගින් මහා පරිමාණයෙන් සාකච්ඡාවට භාජනය වූ තනි ක්‍රීඩා තරඟය මෙය බවයි බීබීසී වාර්තාවන්හි දැක්වෙන්නේ.

මෙම තරඟය සම්බන්ධයෙන් තිස් පන්දහසක් පමණ ‘ට්විටර්’ පණිවුඩ අන්තර්ජාලය ඔස්සේ නිකුත් කරනු ලැබ ඇත.

2014 ලෝක පාපන්දු ශූරතා තරඟාවලියේ දෙවන අවසාන පූර්ව තරඟය අද බදාදා ‘සාඕ පවුලෝ’ හිදී පැවැත්වීමට නියමිතයි.

එම තරඟයට සහභාගී වෙන ආර්ජන්ටිනා සහ නෙදර්ලන්ත කණ්ඩායම් දෙකෙන් ජයග්‍රහණය කරන රටට එරෙහිවයි, ජර්මනිය අවසාන මහා තරඟයේ දී සටන් වදින්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර