කිලෝමීටර් තුනහමාරක ජර්මන් කොඩියක්

Image copyright AFP

හෙට ඉරිදා පැවැත්වෙන ලෝක පාපන්දු ශූරතා තරඟාවලියේ අවසාන මහා තරඟයෙන් ජර්මනියට ජය පතන බංග්ලාදේශ් ගොවියෙක් කිලෝ මීටර් තුන හමාරක් දිග ජර්මන් කොඩියක් නිර්මාණය කර ඇති බවක් වාර්තා වෙයි.

ජර්මනිය හෙට තරග වදින්නේ ආර්ජන්ටිනාව සමඟයි .

බටහිර බංග්ලාදේශයේ ‘මගුරා’ (Magura)දිස්ත්‍රික්කයේ දී එම ජර්මන් කොඩිය දිග හරිනු ලැබීමේ අවස්ථාවට බංග්ලාදේශයේ වැඩ බලන ජර්මන් තානාපතිවරයා ද සහභාගී වූ බවයි වාර්තා වන්නේ.

ජර්මනියෙන් ආනයනය කෙරුණා ඖෂධ පාවිච්චියෙන් සිය අසනීපවලට සුවයක් ලද හෙයින් 2005 වසරේදී තමා ජර්මනියේ ආධාරකරුවකු බවට පත් වූ බවයි කොඩියේ නිර්මාතෘ බංග්ලාදේශ් ගොවියා වන අම්ජාඩ් හුසේන් පවසන්නේ.

එම කොඩිය නිර්මාණය කිරීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට සිය ඉඩමෙන් කොටසක් විකුණා දැමූ බවයි අම්ජාඩ් හුසේන් පවසන්නේ.

කොඩියේ වියදම ඩොලර් තුන් දහසක් පමණ වෙතැයි ඇස්තමේන්තු කෙරෙනවා.