ගාසා තීරයේ පානීය ජල හිඟයක්

Image copyright AFP
Image caption ගාසා තීරයේ වැසියන් පානීය ජල හිඟයකට මුහුණ දෙනු ඇති බවයි පැවසෙන්නේ

දින අටක් පුරා ඊශ්‍රායල බෝම්බ හෙළීම් වලට ලක් වූ ගාසා තීරයේ පානීය ජල පද්ධතිය සම්පුර්ණයෙන් පාහේ විනාශ වී ඇති බව ආධාර ආයතන පවසති.

ගාසා තීරයේ වැසියන් ඉතා ඉක්මනින් දැඩි පානීය ජල හිඟයකට මුහුණ දෙනු ඇති බවයි එම ආයතන පවසන්නේ.

මේ වන විට හානියට පත් ජල පද්ධතිය බොහෝ සෙයින් ක්‍රියාත්මක නොවන බව පවසන එක්සත් ජාතීන්ගේ මානවීය ආධාර ආයතනය කියා සිටින්නේ ගාසා තීරයේ ඇති ජල ප්‍රමාණයෙන් සියයට අනූවක් මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු බවයි.

ගාසා තීරයේ වැසියන් දහස් ගණනක් රැකවරණය පතා තාවකාලික කඳවුරු වල ලැගුම් ගෙන සිටිති.

රැකවරණ පතා

ප්‍රහාර වලින් පලස්තීන ජාතිකයන් දෙසීයක් පමණ මරණයට පත් වී ඇති අතර ඊශ්‍රායල වැසියන් කිසිවෙක් මරණයට පත් වූ බව වාර්තා වී නොමැත.

Image copyright Reuters

මේ අතර ඊශ්‍රායලය හා ගාසා තීරය අතර ගුවන් සහ රොකට් ප්‍රහාර නැවත්වීමට ඊජිප්තුව විසින් සටන් විරාමයක් යෝජනා කර තිබේ.

හමාස් සංවිධානය විසින් සටන් විරාම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බවයි ඊශ්‍රායල ආණ්ඩුවේ ප්‍රකාශක මාර්ක් රේගෙව් පවසන්නේ.

සටන් විරාමයට ප්‍රතිචාර දක්වමින් ගාසා තීරයේ කෙරෙන ඊශ්‍රායල මෙහෙයුම් නවතා තිබූ නමුත් රොකට් ප්‍රහාර ගණනාවක් ඊශ්‍රායලයට එල්ල කළ හෙයින් නැවතත් සටන් මෙහෙයුම් ආරම්භ කළ බව ඊශ්‍රායල ආණ්ඩුවේ ප්‍රකාශක මාර්ක් රේගෙව් වැඩි දුරටත් පැවසුවේය.

සටන් විරාම යෝජනාවක් තමාට නොලැබුණු බව පලස්තීන හමාස් සංවිධානයේ ප්‍රකාශකයකු බීබීසීයට කියා සිටියේය.

සටන් විරාම යෝජනාව පිළිගැනීමට පෙර පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම ඇතුළු ඔවුන් ඉල්ලා සිටින සියලු කොන්දේසි වලට එකඟ විය යුතු බවයි එම ප්‍රකාශකයා පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර