බංග්ලාදේශයේ පැරණි ගණිකා නිවාසය කඩා දැමේ

16 ජූලි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 18:08 GMT

Image copyright AFP

බංග්ලාදේශයේ ඩකා අගනුවර ආසන්නයේ තන්ගායි නගරයේ පිහිටා තිබූ වසර දෙසීයක් පමණ පැරණි ගණිකා නිවාසයක් කඩා ඉවත් කිරීම හේතුවෙන් ලිංගික ශ්‍රමිකයන් සහ ඒ ආශ්‍රිත ව්‍යාපාර මගින් දිවි ගෙවූ එක්දහස් පන්සියයකට පමණ සිය ජීවිකාව අහිමි වී තිබේ.

බංග්ලාදේශයේ ගණිකා වෘත්තිය නීතිගත කොට නැති නමුත් ලිංගික ශ්‍රමිකයන් ලෙසින් කටයුතු කිරීමට පළාත් මට්ටමින් යම් ව්‍යතිරේක තිබු බවයි, බීබීසී බෙංගාලි භාෂා අංශයේ වාර්තාකරු රකීබ් හස්නට් සංදේශයට කියා සිටියේ.

එක් ලිංගික ශ්‍රමිකාවක් බීබීසීයට අදහස් දක්වමින්: "පළාතේ පිරිමි, ආගමික නායකයෝ එකතු වෙලා අපිව මඩමෙන් එලියට දැම්මා, පළාතේ නිළධාරීන් ගත්තෙන් ඔවුන්ගේ පැත්ත, බලහත්කාරයෙන් තමයි එලියට දැම්මේ, අපේ බඩු විනාශ කළා. මේ ඔක්කොම කෙළේ මේ ඉඩම අල්ලා ගන්න," යනුවෙන් සඳහන් කළාය.

අවිනිශ්චිත අනාගතය

ගණිකා නිවාස සම්බන්ධයෙන් බංග්ලාදේශයේ ඇතැම් දැඩි මතධාරී කණ්ඩායම් ප්‍රබල විරෝධය පළ කළ බවත් රකීබ් හස්නෙට් බීබීසී සංදේශයේ තක්ෂල ශ්‍රීනාත් සමඟ සංවාදයකට එක් වෙමින් කියා සිටියේය.

දේශපාලන නායකයන් කිහිප දෙනෙකු පැමිණ පසුගිය සෙනසුරාදා බලහත්කාරයෙන් එලියට දැමූ ලිංගික ශ්‍රමිකයන්ට දැන් මුහුණ දීමට සිදුව ඇත්තේ අවිනිශ්චිත අනාගතයකට.

හෙට දවස ගැන තමන්ට බියක් දැනෙන බව එක් ගණිකාවක් පැවසුවාය.

"අපි අලුත් තැනක් හොයා ගත්තා, එතනට ගිහින් වැඩ පටන් ගන්න ඉන්නේ, ඒත් අපි කන්නේ කොහොමද, ළමයි බලාගන්නේ කොහොමද ජීවත් වෙන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ."

ආරක්ෂිතව දිවි ගෙවිය හැකි නවාතැනක් සොයමින් සිටින බව ජීවිකාව අහිමි වූ බොහෝ ලිංගික ශ්‍රමිකයෝ පවසති.