"ගුවන් යානය මිසයිල ප්‍රහාරයකින්" - ඔබාමා

  • 18 ජූලි 2014
Image copyright AFP
Image caption යානය තුළ මගීන් කියවමින් තිබුන පොත්පත්

මැලේසියානු ගුවන් යානය, රුසියාවේ සහය ලබන බෙදුම්වාදීන් විසින් පාලනය කරන ප්‍රදේශයේ සිට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් බිම හෙලා ඇති බව සාක්ෂිවලින් ඉඟි කරන්නේ යැයි ජනාධිපති ඔබාමා ප්‍රකාශ කරයි.

විශ්වසනීය ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම සඳහා යුක්‍රේනයේ වහා සටන් විරාමයක් ප්‍රකාශ කළ යුතු බවයි කියා සිටියේ.

ඊයේ බ්‍රහස්පතින්දා මිසයිල් ප්‍රහාරයකින් බිම හෙළන ලදැයි චෝදනා කෙරෙන මැලේසියානු ගුවන් යානා අනතුර ජාත්‍යන්තර අපරාධයක් හැටියට හඳුන්වා දුන් යුක්‍රේන් අගමැති ආර්සෙනි යත්සෙනියුක් එම අපරාධයට වගකිවයුත්තන් හේග් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පැමිණවිය යුතුව ඇතැයි කියා සිටියි.

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩම් නගරයේ ‘ෂිෆෝල්’ගුවන් තොටුපළින් ගමන් ආරම්භ කොට මැලේසියාවේ ක්ව්ලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපල බලා පියාසර කරමින් තිබුණ MH 17 මැලේසියානු යානය නැගෙනහිර යුක්‍රේනයට ඉහළින් පියාසර කරමින් තිබියදීයි පුපුරා ගියේ.

අනතුර සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන යුක්‍රේන් අගමැති ආර්සෙනි යත්සෙනියුක් කියා සිටියේ, ‘රුසියාව පමණ ඉක්මවා ගොස්’ ඇති බවයි.

Image copyright BBC Indonesian
Image caption යානය තුළ සිටි ඉන්දුනීසියානු පවුලක්

පුපුරා ගිය යානයේ තුන්සීයකට ආසන්න මගීන් සහ කාර්ය මණ්ඩලය වූ අතර කිසිවකුගේ ජීවිත බේරී නැත.

කැරලිකරුවන්ට චෝදනා

ගුවන් අනතුර සිදුවූ යුක්‍රේන් - රුසියානු දේශ සීමාව රුසියාවට හිතවත් කැරලිකරුවන් අත පවතින කලාපයකි.

ගුවන් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බවට යුක්‍රේන් බලධාරීන් කැරලිකරුවන්ට චෝදනා කළත් කැරලිකරුවන් කියා සිටින්නේ තමන් එවැනි ප්‍රහාරයකට හවුල් නැති බවයි.

ගුවන් යානයේ තොරතුරු පටි ගත කෙරෙන උපකරණ දැනටමත් සොයා ගනු ලැබ ඇති බවත් වාර්තා වෙයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර