ළමා දූෂණයට එරෙහිව දෙමව්පියෝ උද්ඝෝෂණයේ

Image copyright AP

හය හැවිරිදි පාසල් දැරියක් දූෂණය කරනු ලැබීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් බැංගලෝර් නගරයේ දියත් කෙරුණ මහජන විරෝධතා ව්‍යාපාරයකට දහස් ගණනක් ජනතාව සහභාගී වූ බව ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.

හය හැවිරිදි දැරිය දූෂණය කරනු ලැබීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන්නේ බැංගලෝර්හි පෞද්ගලික පාසලක කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනකු වෙතයි.

පාසල් දරු දැරියන්ගේ දෙමව්පියන් සහ මහජන සංවිධානවල සාමාජිකයන් කියා සිටින්නේ, සිසු රැකවරණය සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස සහ චෝදනා ලබන පුද්ගලයන් සම්බන්ධයෙන් පොලිසිය වහාම පියවර ගත යුතු බවයි.

කිසිදු සැකකරුවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති බවයි වාර්තා වන්නේ.

පොලිසිය පවසන්නේ, හඳුනා ගැනීමේ දෙවන පෙරෙට්ටුවක් කැඳවීම සඳහා ඉහත කී දූෂකයන්ට ගොදුරු වූ දැරිය මානසික සායනයට ලක් කෙරෙන තෙක් බලා සිටින බවයි.

දැරිය දූෂණය කරනු ලැබ ඇත්තේ මෙයින් සති දෙකකට අධික කාලයකට පෙර නමුත් එය හෙළිදරව් වී තිබෙන්නේ අසනීප තත්වයේ පසු වූ දැරිය වෛද්‍යවරයකු විසින් පරීක්‍ෂා කරනු ලැබීමෙන් පසුවයි.

එම ළමා දූෂණ අපරාධය වසන් කිරීමට තැත් කරන බවට දෙමව්පියෝ අදාළ පෞද්ගලික පාසල් පරිපාලනයට චෝදනා කරති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර