ගාසා ගැටුම: ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා

Image copyright AFP
Image caption 'ගුවන් ප්‍රහාරවලට ලක් වුනු දරුවන් ඉන් අනතුරුව නාවික හමුදාවේ ෂෙල් ප්‍රහාරවලට ලක් වුනා'

ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලදී ඊශ්‍රායලය යුද අපරාධ සිදු කරන්නට ඇති බවට ප්‍රබල සාධක පවතින බව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවී පිල්ලේ පවසයි.

මානව හිමිකම් මණ්ඩලයේ හදිසි සැසිවාරයක් අමතමින් කථා කල මහ කොමසාරිස්වරිය, සාමාන්‍ය ජනතාව ආරක්ෂා කිරීම පිනිස හැකි සියලු පියවර ගත් බවට ඊශ්‍රායලය කරන ප්‍රකාශය පිළිබඳව සැක පහළ කළාය.

"ඔවුන් ජාත්‍යන්තර නීතිය සහ ජීවත්වීමේ අයිතිය සම්පූර්ණයෙන්ම නොසලකා හරිමින් කටයුතු කරන බව ගාසා වෙරළ තීරයේ ක්‍රීඩා කරමින් සිටි දරුවන් හත් දෙනා ඉලක්ක කරමින් එල්ල කළ බව පෙනුණු ප්‍රහාරයේදී හොඳින්ම දක්නට ලැබුනා," යනුවෙන් ඇය කියා සිටියාය.

"ගාසා තීරයේ මගේ කාර්යාලය විසින් රැස් කර ගන්නා ලද විශ්වාසදායක තොරතුරුවලට අනුව, මුලින්ම ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලට ලක් වුනු දරුවන් ඉන් අනතුරුව නාවික හමුදාවේ ෂෙල් ප්‍රහාරවලට ලක් වුනා."

ඊශ්‍රායලයේ සාමාන්‍ය වැසියන් වෙසෙන ප්‍රදේශවලට හමාස් සංවිධානය ඉවක් බවක් නොමැතිව රොකට් ප්‍රහාර එල්ල කිරීමත් මහ කොමසාරිස්වරියගේ හෙලා දැකීමට ලක් විය.

තම රට ආරක්ෂා කිරීමට ඊශ්‍රායලයට අයිතියක් තිබෙන බව සැසිවාරය අමතමින් සඳහන් කළ ඊශ්‍රායල නියෝජිතයා, ගැටුම පිළිබඳව මානව හිමිකම් මණ්ඩලය විවාදයක් පැවැත්වීම අනවශ්‍ය කරුණක් බව කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර