ගැටුම් වලින් පලස්තීන ජාතිකයන් දහසක් මරුට

  • 26 ජූලි 2014
Image copyright AFP

ඊශ්‍රායලය සහ හමාස් ව්‍යාපාරය අතර ගැටුම් ආරම්භ වීමෙන් පසු පලස්තීන ජාතිකයන් දහසක් පමණ මියගොස් ඇතැයි ගාසා තීරයේ සෞඛ්‍ය බලධාරීහු පවසති. මිය ගිය වැඩි පිරිස සාමාන්‍ය වැසියන් බවයි ඔවුන් පවසන්නේ.

පැය දොළහක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ගාසා තීරයේ පලස්තීන වැසියෝ එදිනෙදා කටයුතු කර ගැනීම සඳහා යුහුසුළු වී සිටිති.

Image copyright AFP

බැංකු සහ සමහර කඩ සාප්පු විවෘත කර ඇති අතර ඊශ්‍රායල ෂෙල් ප්‍රහාර වලින් බරපතළ ලෙස හානියට පත් ප්‍රදේශ වලට සහන සේවකයෝ ගොස් සිටින බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායල රජය සහ හමාස් ව්‍යාපාරය ඇති කරගත් එකඟතාවක් මතයි ගාසා තීරයේ පැය දොළහක සටන් විරාමයක් ප්‍රකාශ කෙරුණේ.

මේ යුද විරාමය මානුෂික සහන සැපයීම සඳහා ලබා දුන් අවස්ථාවක් ලෙස හැඳින්වූ ඊශ්‍රායලය තම හමුදාවට පහර දීම් සිදු කළහොත් ප්‍රතිප්‍රහාර එල්ල කරන බව කියා සිටියේය.

පලස්තීන සටන්කාමීන් තම රටට පහර දීම සඳහා යොදා ගන්නා උමං මාර්ග විනාශ කිරීමේ මෙහෙයුම් සටන් විරාමය අතරතුරත් ක්‍රියාත්මක කරන බව ද ඊශ්‍රායල ප්‍රකාශ කළේය.

Image copyright AP

සටන් විරාමය ආරම්භ වීමෙන් පසු මළ සිරුරු විශාල ගණනක් සොයා ගත් බවයි පලස්තීන සෞඛ්‍ය නිළධාරීන් කියා සිටියේ.

ගාසා තීරයේ ක්‍රියාත්මක වන පැය දොළහක සටන් විරාමය දීර්ඝ කරන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය, තුර්කිය, කටාර් සහ යුරෝපයේ රටවල් ගණනාවක විදේශ ඇමතිවරු ප්‍රංශයේ පැරිස් අගනුවර දී ඉල්ලා සිටියහ.

යුද වැදී සිටින පාර්ශව දෙකම සටන් නැවත්වීමට සුදානමක් දක්වන තුරු දිගු කාලීන යුද විරාමයක් ඇති කර ගත නොහැකි බවයි පැරිස් නුවර සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර