ගාසා තීරයේ දින තුනක සටන් විරාමයක්

Image copyright AP

ගාසා තීරය සඳහා දින තුනක මානුෂීය සටන් විරාමයක් ප්‍රකාශයට පත් කොට ඇත.

පාර්ශව දෙකම තම හමුදා ස්ථාන ගතකොට ඇති නමුත් ඊශ්‍රායලය පවසන්නේ හමාස් ව්‍යාපාරය දේශ සීමාව හරහා ඉදි කළ රහසිගත උමං මාර්ග විනාශ කිරීමේ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක කරන බවයි.

ගාසා තීරයේ බීබීසී වාර්තාකරු කියා සිටියේ කඩ සාප්පු නැවත විවෘත කර ඇති අතර මාර්ග වල සාමාන්‍ය වැසියන් ගමන් කරනු දැක ගත හැකි බවයි.

ඔහු තවදුරටත් කියා සිටියේ දැනටම මෙම සටන් විරාමයේ අස්ථාවර බව පිළිබිඹු වී අවසන් බවයි.

ගාසා තීරයේ දකුණු ප්‍රදේශයේ 'රෆාහ්' අසල සිදුවූ ඊශ්‍රායල ප්‍රහාරයකින් පුද්ගලයන් හතර දෙනෙකු පමණ මියගොස් ඇති අතර පුද්ගලයන් රැසක් තුවාල ලබා තිබේ.

ඊශ්‍රායල හමුදා ආරංචි මාර්ග බීබීසීයට ප්‍රකාශ කර සිටියේ මෙම ප්‍රහාරය දියත් කෙරුණේ ඊශ්‍රායලයේ ‘කෙරෙම් ශාලොම්’හි එල්ල කෙරුණ පලස්තීන ප්‍රහාරයට පිළිතුරක් වශයෙන් වන බවයි.

බීබීසී ගාසා වාර්තාකරු පවසන්නේ, සටන් විරාමය ආරම්භ කිරීමට පෙරදින රාත්‍රිය පුරා පලස්තීන ජාතිකයින් දාහතර දෙනෙකු පමණ ඊශ්‍රායල ප්‍රහාර මගින් මරා දැමුණ බවයි.

පලස්තීන කැරලිකරුවන් එල්ල කළ රොකට් ප්‍රහායකින් ඊශ්‍රායල් සොල්දාදුවන් පස් දෙනෙකු මියගිය අතර පෙරළා ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයන් හතරදෙනෙකු මරණයට පත්ව තවත් රැසකට තුවාල සිදු වී ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර