චීන සිසුන්ගෙන් බලහත්කාරයෙන් ලේ

වයඹ දිග චීනයේ ඇති සමාගමක් වෙනුවෙන් ලේ දන්දෙන ලෙස පාසැල් සිසුන්ට බල කිරීමට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් හත් දෙනෙකු අත් අඩංගුවට ගත් බව චීන රජයේ ජනමාධ්‍ය ප්‍රකාශ කරයි.

ලේ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ප්‍රධානියා පොලීසියට පවසා ඇත්තේ ලේ දන් දෙන්නන් ගේ සංඛ්‍යාව වැඩි කරන ලෙස ඔහුට බලපෑම් එල්ල වී තිබුණු බවයි.

සිසුන් අට දෙනෙකුට මසකට එක් වරක් බැගින් මාස හතක කාලයක් ලේ දීමට බල කිරීම තුලින් මීට සම්බන්ධ පිරිස ඩොලර් දහස් ගණනක් උපයා ඇති බවයි මහජන ආරක්ෂක නිලධාරියෙකු උපුටා දක්වන රාජ්‍ය ජනමාධ්‍ය පැවසුවේ.

සැකකරුවන් ව්‍යාජ හැඳුනුම් පත් යොදා ගෙන මෙම සිසුන් වැඩිහිටියන් ලෙස හුවා දක්වා ඇති අතර ලේ දන් දීමට අපොහොසත් වුවහොත් එම සිසුන්ට පහරදී ඇති බවයි වාර්තා වන්නේ.