ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මිසූරි ප්‍රාන්තය පාලනය කිරීමට කඳුළු ගෑස්

ඇමරිකාවේ මිසූරි ප්‍රාන්තයේ උද්ඝෝෂණයේ යෙදී සිටින පිරිස් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බව පොලිසිය පවසයි.

කළු ජාතික යොවුන් තරුණයකු පොලිස් වෙඩි පහරකින් මිය යාමේ සිද්ධියට විරෝධය පළ කරමින් මිසූරි ප්‍රාන්ත වැසියෝ උද්ඝෝෂණයේ යෙදී සිටිති.

ඉහත කී වෙඩි තැබීමත් සමග ඇති වූ ප්‍රචණ්ඩකාරී වාතාවරණය පාලනය කිරීම සඳහා එම ප්‍රාන්තය තුළ පොලිස් ඇඳිරි නීතිය යොදවනු ලැබිණි.

නමුත් ඇඳිරි නීතිය නොතකා සිය ගණනක් වූ උද්ඝෝෂකයෝ කළු ජාතික තරුණයාගේ මරණය සම්බන්ධයෙන් විරෝධය පළ කරති.

අණ නොතකා

උද්ඝෝෂණය අතරතුර තවත් පුද්ගලයකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර මේ වන විට ඔහු අසාධ්‍ය තත්වයේ පසු වන බව උසස් පොලිස් නිලධාරියකු පවසයි.

එම වෙඩි තැබීම සිදු කළේ කවුරුන්ද යන්න මේ වනතුරු අනාවරණය වී නොමැති අතර පොලිස් අණ නොතකා වීදි බැස සිටි පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මිසූරි ප්‍රාන්තයේ කලබලකාරී තත්වයක් ඇති වීමට හේතු වූයේ දහඅට හැවිරිදි මයිකල් බ්‍රවුන් නමැති කළු ජාතික යොවුන් තරුණයාට වෙඩි තැබීම සිදු කළ පොලිස් නිලධාරියාගේ නම ප්‍රකාශයට පත් කිරීමත් සමගයි.

වෙඩි පහරින් මරා දැමුණු කළු ජාතික තරුණයා වෙළඳසැලක් මංකොල්ල කෑමේ යෙදී සිටින ආකාරය ආරක්ෂක කැමරාවල සටහන් වී ඇති බව මිසූරි ප්‍රාන්ත පොලිසිය පවසයි.