ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දහස් ගණන් ජීවිත ගලවා ගන්න තිබුණා - නවි පිල්ලේ

22 අගෝස්තු 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 12:33 GMT

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සිරියාවේ පවතින අර්බුදය සම්බන්ධයෙන් මීට වඩා අවධානයක් යොමු කළේ නම් දහස් ගණනින් ජීවිත බේරා ගැනීමට හැකියාව තිබූ බව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවි පිල්ලේ පවසයි.

සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට පෙර ආරක්ෂක මණ්ඩලය අමතමින් කළ කතාවේ දී ඇය පැවසුවේ පටු ජාතික අවශ්‍යතාවන්ගේ සහ දේශ සීමා අරඹයා ගොඩ නගා ගත් දේශපාලනික ගැටුම් හේතුවෙන් දරා ගත නොහැකි ලෙසින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ ජාත්‍යන්තර ආරක්ෂාව අභියෝග කිරීම් දිගින් දිගටම සිදුවන බවයි.

ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් එක් එක් වශයෙන් නම් නොකළත් ඇය කියා සිටියේ පවතින අර්බුදය සමථයකට පත් කිරීමට හෝ ගැටලුව විසඳීමට අවශ්‍ය පියවර ගැනීම වෙනුවට එල්ල වන ප්‍රහාර සහ ගැටුම් නැවැත්වීමට මණ්ඩලය සතු නිශේධ බලය (වීටෝ බලය) පාවිච්චි කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල වෙනුවට තත්වය තවත් නරක අතට හැරෙන බවයි.

සිරියාවේ අර්බුදයේ වසර තුනක කාලයක් තුළ පුද්ගලයින් එක් ලක්ෂ අනු දහසකට අධික ප්‍රමාණයක් මියගොස් ඇති බව පැවසු මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය පවසන්නේ වාර්තා නොවූ මරණ සංඛ්‍යාව මීට වඩා ඉහල අගයක් ගන්නා බවත් වයස අවුරුදු දහයෙන් පහළ දරුවන් දෙදහස් එක සිය හැට පහක් ඒ අතර සිටින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා ඉදිරිපත් කොට ඇති බවයි.