'දූෂණය කරන බවට තර්ජනය කළා'

  • 31 අගෝස්තු 2014
Image caption ප්‍රසිද්ධියේ අයිරිනා දොව්ගන්ට පහර දෙන ආකාරය

යුක්‍රේනයට හිතවත් ක්‍රියාධාරිනියක් ආයුධ සන්නද්ධ කැරලිකරුවන්ගේ ග්‍රහණයේ සිටියදී තමාට සිදු වූ පහර දීම් සහ ප්‍රසිද්ධියේ විඳීමට සිදු වූ අපහාස සම්බන්ධයෙන් බීබීසීයට තොරතුරු පැවසුවාය.

දනෙස්ක් කලාපයේ සිටින යුක්‍රේන හමුදා වලට ඔත්තු සැපයූ බවට කැරලිකරුවෝ ඇයට චෝදනා කළහ.

ප්‍රදේශවාසීහු එක් රැස් කළ ආහාර සහ ඖෂධ ද්‍රව්‍ය, නැගෙනහිර යුක්‍රේනයේ සිටින හමුදා කණ්ඩායමකට බාර දීමට ඉරීනා දොව්ගාන් කටයුතු කළාය.

එම අවස්ථාවේ ඇය රුසියාවට හිතවත් කැරලිකරුවන්ගේ අත්අඩංගුවට පත් විය.

තර්ජන

අත්අඩංගුවට පත් වීමෙන් පසු දූෂණය කරන බවට දිගින් දිගටම තර්ජනය කළ කැරලිකරුවන් තමාට පහර දුන් බවයි ඇය පවසන්නේ.

ඉන් අනතුරුව දනෙස්ක් නගර මධ්‍යයේ තමාව සිටුවා තැබීමෙන් පසු ඒ අසලින් ගමන් ගන්නා පුද්ගලයන්ගේ අපයෝජනයට ලක් වූ බවත් ඇය වැඩි දුරටත් කියා සිටියාය.

විදේශ මාධ්‍යවේදීන්ගේ සහය ඇතිව ඇය නිදහස ලැබුවාය.

තම සටන්කරුවන් සිදු කළ සැහැසි ක්‍රියාව සම්බන්ධයෙන් එම සේනාංකයේ අණදෙන නිලධාරීවරයා ඇයගෙන් සමාව ඉල්ලා තිබේ.