තිස් හය වසරකට පසු ඉවත් කළ කලලය

Image copyright AFP
Image caption වසර තිස් හයකට පසු ඉවත් කළ කලල ඇට සැකිල්ල

වසර තිස් හයක් පුරා කාන්තාවකගේ ගර්භාෂයෙන් පිටත වැඩුණු කලලයක ඇට සැකිල්ලක් ඉන්දීය වෛද්‍ය වරුන් විසින් ඉවත් කරනු ලැබ තිබේ.

දීර්ඝ කාලයක් ගර්භාෂයෙන් පිටත වැඩුණු කලලයක් ලෙසින් මෙය විශ්වාස කරන බවයි වෛද්‍ය වරුන් පවසන්නේ.

භායි තක්රේ නමැති මෙම කාන්තාව විසි හතර වියෙහිදී ගැබ් ගෙන ඇත්තේ එක්දහස් නමසිය හැත්තෑ අට වසරේදීය.

උදරයේ වේදනාව

ගර්භාෂයෙන් පිටත සිදු වන ගැබ් ගැනීමක් සාර්ථක වීමේ අවස්ථාවන් විරල බව වෛද්‍යවරුන් දැනුම්දී තිබියදී ශල්‍යකර්මයකට භාජනය වීමට බිය වූ ඇය නිවසින් පැන ගොස් ග්‍රාම්‍ය වෙද හලකින් ප්‍රතිකාර ලබා ගෙන තිබෙන්නේ තමාට උදරයේ දැඩි වේදනාවක් ඇති බව පවසමින්.

මාස කීපයක් පැවති වේදනාව තුනී වීමෙන් තම අසනීපය සුව වූ බවට විශ්වාස කළ ඇයට යලිත් රෝගී තත්වය උත්සන්න වීමෙන් මධ්‍යම ඉන්දියාවේ නාක්පුර් නගරයේ රෝහලකට යාමට සිදු වී තිබේ.

නාක්පුර් නගරයේ වෛද්‍ය විද්‍යාව සඳහා වූ එන් කේ පී සල්වේ ආයතනයේ ප්‍රධාන වෛද්‍ය මුර්තාසා අක්තාර් පැවසුවේ උදරාබාධයෙන් පෙලෙන කාන්තාවක් තම ආයතනයට පැමිණි අතර ඇය වෛද්‍ය පරීක්ෂණ ගණනාවකට යොමු කළ බවයි.

ඔහු වැඩි දුරටත් පැවසුවේ තමන් පුදුමයට පත් කරමින් ඒ වන විට හැට දෙහැවිරිදි වියේ පසු වූ රෝගියාගේ උදරයේ කලල ඇට සැකිල්ලක කොටස් රැසක් ඇති බව එම පරීක්ෂණ ප්‍රතිඵල මගින් අනාවරණය වූ බවයි.

සිව් දරු මවක්

භායි තක්රේගේ අතීත තොරතුරු සොයා බැලීමේදී හෙළි වී ඇත්තේ ඇය දරුවන් හතර දෙනෙකුගේ මවක් බවයි.

වෛද්‍ය මුර්තාසා අක්තාර් කියා සිටියේ 1978 වසරේ ඇයගේ ගැබ් ගැනීම සිදුවී ඇත්තේ ගර්භාෂයෙන් පිටත බවත් අදාළ කලලය වසර තිස් අටක් ගර්භාෂයෙන් පිටත රැඳී ඇති බවයි .

මෙම සිදු වීම ඉතා විරල අවස්ථාවක් ලෙස පැහැදිළි කළ වෛද්‍යවරයා මින් පෙර මෙවැනි අවස්ථා චීනයෙන් සහ බෙල්ජියමෙන් වාර්තා වී ඇති බව පැවසීය.

මාධ්‍ය මේ සම්බන්ධයෙන් සිදු කරන විමසීම් වලට මුහුණ දීමට අකමැත්තෙන් සිටින භායි තක්රේ අදාළ ඇට සැකිල්ල උදරයෙන් ඉවත් කිරීමට කැමති කරවා ගැනීමට හැකි වූ බවයි වෛද්‍යවරයා පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර