ගංවතුරෙන් පීඩා විඳින ඉන්දියාව සහ පකිස්තානය

  • 2014 සැප්තැම්බර් 10
Image copyright AFP

වසර පනහකට පසු ඇති වූ බරපතළ ගංවතුරෙන් ඉන්දියාවේ සහ පකිස්තානයේ සිය දහස් ගණන් ජනයා අවතැන් වී ඇති බව වාර්තා වේ.

පකිස්තානයේ ඇතැම් පෙදෙස් වල ජනයාට සිය නිවාස අත් හැර අවදානම් කලාපයෙන් ඉවත් වන මෙන් අනතුරු ඇඟවීම් කර තිබෙන අතර මරණ සංඛ්‍යාව දෙසිය පනස් හතර දක්වා ඉහල ගොස් තිබේ.

Image copyright AFP

රටවල් දෙකටම බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් දැනට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව හාරසිය පනහ ඉක්මවා ඇත.

මේ වන විට මුදවා ගැනීමේ කණ්ඩායම් විපතට පත් වුවන් බේරා ගැනීමේ මෙහෙයුම් වල නිරත වෙමින් සිටියි.

ගංවතුර පාලනය

Image copyright Reuters

බලධාරීන් පවසන්නේ කාශ්මීරයේ ඉන්දියානු පාලනය යටතේ පවතින පෙදෙස් වල ලක්ෂ හතරකට අධික පිරිසක් ගංවතුරට හසුව ප්‍රදේශය තුල සිරවී සිටින අතර දෙසීයක් පමණ දෙනා මරණයට පත් වී ඇති බවයි.

ලාහෝර් නගරයට දිගින් දිගටම කඩා වැටුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පල්ලියක වහලයක් කඩා වැටී ඇති අතර පුද්ගලයන් විසි හතර දෙනෙකු මරණයට පත් වී හත් දෙනෙකුට බරපතල තුවාල සිදු වී ඇති බව බලධාරීන් පවසයි.

රට තුල සේවයේ නියුතු විදෙස් ජාතිකයින් සහ සංචාරකයින් රටින් පිටවීමට උත්සාහ දරන අතර ප්‍රධාන ගුවන් තොටුපලක් වන ශ්‍රී නගර්, රටින් පිටවීමට උත්සාහ දරන සංචාරකයින්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

පකිස්තාන බලධාරීන් විසින් ගංවතුර පාලනය කිරීම සඳහා පන්ජාබයේ වේල්ලක් බිඳ දමා ඇති අතර එමගින් තවත් පෙදෙස් බොහොමයකට දරුණු ලෙස බලපෑ හැකිව තිබෙන ගංවතුර අවදානම වැළැක්වීමට උත්සාහ දරමින් සිටියි.

වේල්ල බිඳ දැමීමත් සමග තවත් හත්දහසකට අධික ගම්මාන වල වැසියන්ට නිවාස හැර දමා අවදානම් කලාප වලින් ඉවත් වන මෙන් අනතුරු ඇඟවීම් කර තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර