ඔස්ට්‍රේලියාව ත්‍රස්ත විරෝධී නීති දැඩි කරයි

ආරක්ෂාවේ නාමයෙන් ඇතැම් නිදහස් අයිතිවාසිකම් සීමාවන්ට යටත් කරනු ලැබීමේ තත්වයක් මතු විය හැකි යයි ඔස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් කියා සිටියි.

අගමැතිවරයා එම ප්‍රකාශය කළේ පසුගිය සතියේ මහා පරිමාණයේ ත්‍රස්ත විරෝධී මෙහෙයුමක් දියත් කරනු ලැබීමෙන් අනතුරුවයි.

ඔස්ට්‍රේලියාව විසින් ක්‍රියාවට නංවනු ලබන නව රෙගුලාසි අනුව එරට වැසියන් ‘අවසර නොමැති’ අර්බුද පවතින කලාපයන්හි සංචාරය කිරීම සාපරාධී ක්‍රියාවක් වනු ඇත.

‘ඉස්ලාමීය රාජ්‍යයක්’ සඳහා සටන් වදින (ISIL)ප්‍රහාරකයන් සහ මැදපෙරදිග වෙනත් සන්නද්ධ කණ්ඩායම් වලට එකතුව සිටින ඔස්ට්‍රේලියානුවන්ගේ සංඛ්‍යාව අඩු තරමින් හැට දෙනකු වත් වන බව එරට බලධාරීන් ගේ තක්සේරුවයි.

සිය රටවැසියන්ට ගමන් ගැනීමට 'අවසර නොමැති' එක් කලාපයකට උදාහරණයක් හැටියට අගමැති ටෝනි ඇබට් විසින් පෙන්වන ලද්දේ සිරියාවේ ‘රක්කා’( Raqqa) නගරයයි.

‘අවසර නැති කලාප’

කුඩා ළමයෙක් සිරියානු සොල්දාදුවකුගේ ගෙලින් සිඳින ලද හිසක් රැගෙන සිටින පින්තූරයක් පසුගිය දා සමාජ මාධ්‍ය ජාලයේ පළ කරනු ලැබ තිබෙනු අතර එම ළමයා ඕස්ට්‍රේලියානු ‘ජිහාඩ්’ ප්‍රහාරයකුගේ පුත්‍රයකු යයි විශ්වාසයක් පවතී.

එම වාතාවරණය යටතේ සැකකරුවන් රඳවා ගැනීමට සහ ඔවුන් අධීක්ෂණයට අදාළව ත්‍රස්තවාදී වැරදි සම්බන්ධයෙන් පැනවෙන නව නීති මේ සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි ද අගමැති ටෝනි ඇබට් සඳහන් කළේය.

එසේම, විදුලි සංදේශ සමාගම් ඔවුන් සතු තොරතුරු පොලිසියට සහ වෙනත් ආරක්ෂක ආයතනවලට සැපයීමට එම සමාගම් බැඳෙන නව රෙගුලාසි ද ඉක්මනින් හඳුන්වා දෙන බවයි ඕස්ට්‍රේලියානු අගමැතිවරයා පවසන්නේ.

“නිදහස සහ ආරක්ෂාව අතර සමතුලනය අතින් සීමා පනවනු ලබන කාල සීමාවක් ඉදිරි කාලයේ ඇතිවීම කණගාටුදායක බවයි” අගමැති ඇබට් පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේ.

“ටික දෙනකු සම්බන්ධයෙන් බොහෝ තහංචි පනවනවා විය හැකියි. ඒත් එමගින් සෙසු ජනයාට වැඩි රැකවරණයක් ලැබෙනවා” අගමැතිවරයා පැවසීය.

මෙය ඔස්ට්‍රේලියාව මෙතෙක් ත්‍රස්තවාදයට එරෙහිව දියත් කරන ලද දැවැන්තම මෙහෙයුමයි.

'කිල් කෆිර්ස්'

ඔස්ට්‍රේලියානු ජිහාඩ්වාදීන් විසින් ප්‍රකාශිත සැලැස්මක් අදාල් කර දැමීම සඳහා සිඩ්නි සහ බ්‍රිස්බේන් නගරවල පොලිසිය මෙහෙයුමක් දියත් කර තිබුණි.

ජිහාඩ්වාදීන් ප්‍රකාශිත සැලැස්ම “කිල් කෆිර්ස්’(Kill kaffirs) යනුවෙන් නම් කරනු ලැබ තිබුණ අතර හදිසියේ අල්ලා ගනු ලබන ඔස්ට්‍රේලියානුවන් ප්‍රසිද්ධියේ ගෙල සිඳ මරා දැමීමයි ඔවුන්ගේ වැඩ පිළිවෙල වන්නේ.

“ඔවුන්ගේ එම ප්‍රහාර සඳහා උවමනා කරන්නේ පිහියක්, ගොදුරක් සහ කැමරාවක් අඩංගු ජංගම දුරකතනයක් පමණයි” අගමැති ටෝනි ඇබට් කියා සිටියේය.

ඔස්ට්‍රේලියාව මේ වන විට ත්‍රස්ත චෝදනා යටතේ එක පුද්ගලයකුට එරෙහිව නඩු පවරා ඇති අතර තවත් කීප දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර