සිරියානු සටන්කාමීන්ට එරෙහි පළමු ඇමරිකානු ප්‍රහාරය

  • 2014 සැප්තැම්බර් 23

ඇමරිකානු හා අරාබි මිත්‍රශීලී රටවල් සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යයක් සඳහා සටන් වදින සටන්කාමීන්ට එරෙහිව පළමු ප්‍රහාරය එල්ල කළ බව ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

එම ප්‍රහාරය එල්ල කිරීමේදී ප්‍රහාරක ගුවන් යානා, බෝම්බ හෙලන යානා සහ මිසයිල යොදා ගත් බවයි නිලධාරීන් පැවසුවේ.

මූලස්ථානය

සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජෝර්දානය, බහරේන් සහ කටාර් යන අරාබි ජාතීන් ඊට සහභාගිවූ බව ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීහු තවදුරටත් පැවසූහ.

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ මූලස්ථානය පිහිටි සිරියාවේ ඊශාන දිග, රකා (Raqqa) නගරයද ප්‍රහාරයේ ඉලක්ක අතර වූ බව වාර්තාවල දැක්වේ.

බ්‍රිතාන්‍යය මූලස්ථානය කොට ගත්, මානව හිම්කම් සංවිධානයක් (Syrian Observatory for Human Rights) පැවසුවේ අඩු වශයෙන් සටන්කාමීන් විසි දෙනකුවත් මියගොස් ඇති බවයි.

රකා නගරයට ප්‍රහාරයක් එල්ල කරන බවට ඇමරිකා එක්සත් ජනපදය විසින් කලින් අනතුරු අඟවා සිටි බව සිරියානු රජය ප්‍රකාශ කළේය.

අනුමතිය

ප්‍රහාර එල්ල කිරීමට ජනාධිපති ඔබාමා විසින් ඊයේ අනුමතිය ලබා දෙන ලදි.

ඉස්ලාමීය රාජ්‍යයක් සඳහා සටන් වදින ඉරාක සටන්කාමීන්ට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද විසින් ඉකුත් අගෝස්තු මාසයේ සිට ප්‍රහාර එල්ල කරමින් සිටියි.

ප්‍රංශයද පසුගිය සතියේ සිට ISIS සටන්කාමීන්ට එරෙහිව පහරදීම් සිදු කරන ලදී.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර