‘මංගල්යාන් ’ අඟහරු කක්ෂයේ

Image copyright AFP

‘මංගල්යාන්’ අඟහරු කක්ෂය කරා සාර්ථකව ඇතුල් වූ බව ඉන්දියාවේ අභ්‍යවකාශ විද්‍යාඥයෝ පවසති.

මෙය ඉන්දියාව අඟහරු කරා යවන ලද පළමු යානයයි.

එම අභ්‍යවකාශ චාරිකාව සඳහා ඉන්දියාව දරන ලද වැය ඩොලර් කෝටි හත හමාරකි.

මෙය අඟහරු චාරිකාවක් සඳහා මෙතෙක් දරන ලද අඩුම වියදම හැටියටත් ඉතිහාසයට එක් වෙයි.

‘මංගල්යාන්’ රතු ග්‍රහයාගේ කක්ෂයට අවතීර්ණ වන මොහොතේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි ‘බැංගලෝර්’ නගරයේ පාලක මැදිරියේ සිටි බවයි වාර්තා වන්නේ.

Image copyright AP

ඉන්දීය අගමැතිවරයා මෙහෙයුම සාර්ථකව මෙහෙයවන ලද විද්‍යාඥයන්ට ශුභ පැතූ අතර ඔහු සාර්ථක අඟහරු චාරිකාව විග්‍රහ කරන ලද්දේ ඉන්දියානු ජාතියේ හැකියාව පිලිබඳ ජීවමාන නිදසුනක් හැටියටයි.

‘ඉන්දියාවේ හැකියාව ’

“අපේ ක්‍රිකට් කණ්ඩායම ලබන ජයග්‍රහණ වලදී අපි සතුටට පත් වෙනවා. අපේ විද්‍යාඥයන්ගේ සාර්ථක ජය හමුවේත් අපි සතුටු විය යුතුයි” අගමැති මෝඩි ප්‍රකාශ කරයි.

මෙම අභ්‍යවකාශ වැඩ පිළිවෙල පුළුල් කරනු ලැබීම ඉන්දීය අගමැතිවරයාගේ සැලැස්මයි.

2013 නොවැම්බර් මස පස් වෙනිදා අභ්‍යවකාශගත කරන ලද ‘මංගල්යාන්’ යානයට අඟහරු ලොවට සමීප වීමට මාස දහයක පමණ කාලයක් ගත විය.

‘මංගල්යාන්’යානයට පැවරෙන කාර්යය වන්නේ අඟහරු පෘෂ්ඨයේ ඡායාරූප ගනිමින් එහි ස්වාභාවය අධීක්ෂණයයි.

පසුගිය සඳුදා ඇමෙරිකානු ‘මවෙන්’ (Maven) අඟහරු යානය එහි කක්ෂයට ඇතුල් වූ අතර නාසා ආයතනය එම චාරිකාව සඳහා ඉන්දියාවට වඩා දශ ගුණයක මුදලක් වැය කර ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර