ඇමරිකානු ව්‍යාපාරිකයන් සහ මෝඩි අතර සාකච්ඡා

Image copyright Reuters
Image caption අගමැති නරේන්ද්‍ර මෝඩි නිව්යෝර්ක් නුවර මැඩිසන් චතුරශ්‍රයේ ඇමරිකාවේ ජීවත් වන දහස් ගණනක ඉන්දියානුවන් අමතමින්

නිව්යෝර්ක් නුවර මැඩිසන් චතුරශ්‍රයේ ඇමරිකාවේ ජීවත් වන දහස් ගණනක ඉන්දියානුවන් ඇමතීමෙන් පසු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි පළමු පෙළේ ඇමරිකානු ව්‍යාපාරිකයින් හමු වීමට නියමිතව තිබේ.

‘ගූගල්’ සමාගම ඇතුළු සාර්ථකත්වයට පත් සමාගම් ඉන්දියාව තුළ ආයෝජනය කිරීමට ඒත්තු ගැන්වීම සඳහා එම සමාගම් වල ප්‍රධානීන් සමග සාකච්ඡා පැවැත්වීමට ඉන්දියානු අගමැතිවරයා අදහස් කරන බවයි වාර්තා වන්නේ.

එම සාකච්ඡා වලින් අනතුරුව අගමැති නරේන්ද්‍ර මෝඩි වොෂින්ටනයේදී ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා හමුවීමට නියමිතයි.

ඉන්දියානු අගමැතිවරයා සිය ධුරයට පත් වීමෙන් අනතුරුව ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරය කරන පළමු අවස්ථාව මෙයයි.

මින් පෙර අන්තවාදී ආගමික හැසිරීම මත ඉන්දියානු අගමැතිවරයාට වීසා බලපත්‍ර ලබා දීම ඇමරිකානු රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

එළඹෙන සඳුදා නිව්යෝර්ක් නුවර පළමු පෙළේ ව්‍යාපාරිකයින් එකොලොස් දෙනෙකු සමග පැවැත්වීමට නියමිත උදෑසන හමුවේදී ආසියාවේ ආයෝජනයට හොඳම රට වශයෙන් ඉන්දියාව හඳුන්වා දීමට ඉන්දියානු අගමැති වරයා අදහස් කරන බවයි පැවසෙන්නේ.

පසුගිය සතියේ ‘ඉන්දියානු නිෂ්පාදන’ නමින් නව සංවර්ධන වැඩ පිළිවෙලක් හඳුන්වා දුන් ඉන්දියානු අගමැති වරයා ඉන්දියාව ආසියාවේ ප්‍රධාන ආයෝජන මධ්‍යස්ථානය බවට පත් කරන බවට සිය ජනතාවට පොරොන්දු දෙනු ලැබීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර