'ඉබෝලා ලොව පුරා පැතිරීමේ අවදානමක්'

බටහිර අප්‍රිකාව තුළ ව්‍යාප්ත ඉබෝලා වසංගතය ඉතා දරුණු අතට හැරෙමින් පවතින බවට ලෝක සෞඛ්‍යය සංවිධානය අනතුරු අඟවයි.

ඉබෝලා වසංගතයෙන් දැනට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව තුන්දහස් නමසීයක් බවයි ලෝක සෞඛ්‍යය සංවිධානය පවසන්නේ.

ඊට අමතරව දැනට පුද්ගලයන් අට දහසකට පමණ වසංගතය වැළඳී ඇති බව හඳුනා ගෙන තිබේ.

බොහෝ රෝගීන් වාර්තා වී තිබෙන්නේ ගිනියා , සියරා ලියොන් සහ ලයිබීරියා යන රට වලින් වන අතර ලෝක සෞඛ්‍යය සංවිධානය පවසන්නේ ඇතැම් රෝගීන් වාර්තා ගත කර නොමැති බවයි.

මෙයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ඉතා දරුණු ලෙස වසංගතය පැතිරුණු රටවල් වල සෞඛ්‍යය සේවා පවතින පීඩනය මත තොරතුරු වසන් කිරීමයි.

වසංගතය ඉතා සීග්‍රයෙන් පුළුල්ව පැතිරෙමින් තිබෙන බව පවසන ලෝක සෞඛ්‍යය සංවිධානය කියා සිටින්නේ එම තත්වය පාලනය කිරීමට ගත හැකි ක්‍රියා මාර්ගයක් පෙනෙන මානයක නොමැති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙතෙක් නිකුත් කළ අසතුටුදායක ම පුවත මෙය බවයි පැවසෙන්නේ.

පැතිරීමේ අවදානම

Image copyright EPA

ඉබෝලා මේ වන විට සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි අවධානයට ලක්ව තිබුනත් වසංගතය පාලනයට ගෙන ඇති සියලු පියවර අසාර්ථක ව ඇති බවයි වාර්තා වන්නේ.

1976 දී ඉබෝලා හඳුනා ගැනීමේදී වාර්තා වූ මරණ සංඛ්‍යාවට වඩා දෙගුණයකටත් අධික ගණනක් මේ වන විට මෙම වසංගතයෙන් මිය ගොස් තිබේ.

ලෝකයේ අනිකුත් පෙදෙස් වලටත් වසංගතය පැතිරීමේ අවදානමක් පවතින බවට සැක කරන බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් බටහිර අප්‍රිකාවේ සිට පැමිණෙන මගීන් ඉබෝලා වසංගතය හඳුනා ගැනීමේ පරීක්ෂණ වලට යොමු කිරීමට ඇමරිකානු බලධාරීන් පියවර ගෙන තිබෙන අතර වොෂින්ටන්, නිව්යෝර්ක්, චිකාගෝ වැනි ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපල වලදී ශරීර උෂ්ණත්වය මැන බැලීම සහ රෝගය හඳුනා ගැනීම පහසු කරවන ප්‍රශ්න වලියක් ඉදිරිපත් කිරීම සිදු කරන බවයි ඇමරිකානු ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ.

පසුගිය බදාදා ඇමරිකාවේ දී ඉබෝලා රෝගයෙන් මිය ගිය පළමු රෝගියා වාර්තා වූ අතර සිය මව් රට වන ලයිබීරියාවේ සිට ඇමරිකාවට පැමිණි මෙම පුද්ගලයා රෝගාතුර වී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ සතියේ මුල් භාගයේ ස්පාඤ්ඤ ජාතික සාත්තු සේවිකාවකට ඉබෝලා වයිරසය වැලන්දී ඇති බවට වාර්තා වූ අතර ප්‍රථම වතාවට අප්‍රිකාවෙන් පිටත පුද්ගලයෙකු වයිරසයට ගොදුරු වූ අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර