ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විසිඑක් වෙනි සියවසේ වහල් වෙළෙඳාමක්

වහල් වෙළඳාම අතීතයට සීමා වූ දෙයක් හැටියට බොහෝ දෙනෙක් සිතන නමුත් මිනිසුන් වහලුන් හැටියට විකිණීමේ ජාවාරමක් ගැන තායිලන්තයෙන් වාර්තා වෙයි.

ජාවාරම් කරුවන් විසින් බලහත්කාරයෙන් පැහැර ගනු ලැබ තායිලන්තයේ ‘අන්දමන්’ මුහුදු තීරය අසළ කැලෑබද කඳවුරු තුළ රඳවා ගෙන සිටිය දී බේරා ගනු ලැබූ පුද්ගලයන්ගෙන් වැඩි දෙනා බංගලාදේශ ජාතිකයන් බවයි පැවසෙන්නේ.

මත් ද්‍රව්‍ය පොවා අල්ලා බැඳ බෝට්ටුවලට බලෙන් පටවා මේ ආකාරයට තායිලන්තයට ගෙනැවිත් ඇති පුද්ගලයන්ගේ ගණන තුන්සීයකට අධිකයි.

බීබීසියේ බැංකොක් වාර්තාකරු ජොනතන් හෙඩ් එම බංග්ලාදේශ් ජාතිකයන් දැනට රඳවා සිටි ස්ථානයේ සිදු කළ සංචාරයකින් පසුව ප්‍රකාශ කළේ ඔවුන් කඳුළු සලමින් සිටින බවයි.

රැකියා පොරොන්දු

හොඳ රැකියා ලබා දෙන බවට මුලා කොට බංගලා දේශයේ පිහිටි ගම් බිම්වලින් තමන් ගෙන ආ ආකාරය ඔවුන් විස්තර කරන බවත් ජොනතන් හෙඩ් පවසයි.

තායිලන්තයට රැගෙන ඒමෙන් පසු එම ජනයා රඳවා තබන්නේ දකුණු තායිලන්තයේ මුහුදු වෙරළේ කඩොලාන වනයේ පවත්වා ගෙන යන රහසිගත මඩුවල බවයි සොයා ගනු ලැබ තිබෙන්නේ.

ඔවුන් විකුණනු ලබන්නේ මසුන් මරන්නන් හෝ වගා බිම් ආදියේ වහලුන් හැටියට බවත් පැවසෙයි.

එතෙක් ඔවුන් රහසිගතව සන්නද්ධ මුර කරුවන්ගේ අධීක්ෂණය යටතේ වනයේ සිර කර තබා සිටින ඔවුන්ට ප්‍රමාණවත් ආහාරයක් නොලැබෙන අතර දහඅට හැවිරිදි වහල් තරුණයකු වන අබ්දුල් රහීම් දවස් දහයක් ම යැපී ඇත්තේ කැලෑ කොළ කෑමෙනි.

ආහාරය කැලෑ කොළ

‘ ගෙදර මතක් වෙන කොට මගේ හදවත පිච්චෙනවා. මම පුංචි දරුවන් තුන් දෙනෙකුගේ තාත්තා කෙනෙක්. මම හිතන්නේ නැහැ - මට ආයෙත් ගෙදර ගිහින් මගේ දරු පවුල දැක ගන්න ලැබේවි කියල.’ අබ්දුල් රහීම් පවසයි.

තායිලන්තයේ අන්දමන් වෙරල මිනිසුන් රටින් රටට විකිණීමේ ජාවාරම සරුවට කෙරෙන තැනකි.

වැඩි වශයෙන් එම සූරා කෑමේ ජාවාරමට ගොදුරු වෙන්නේ ‘රෝහින්ග්‍යා’ මුස්ලිමුන් මියන්මාරයේදීත් වධ හිංසාවන්ට ගොදුරු වූ ජන කොටසකි.

මෙම බංග්ලාදේශ් අසරණයන් ගේ ඉරණම පිළිබඳව අදහස් දක්වන ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානයේ ෆිල් රොබර්ට්සන් පවසන්නේ මේ ශ්‍රම සූරා කෑම වහල් වෙළෙඳාමක් වන බවයි.

ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයෙන් බේරා ගනු ලැබුණ පුද්ගලයන් ආපසු ඔවුන්ගේ රටට යැවීමට උදව් වීම අතින් තායිලන්ත ආණ්ඩුව සිතා මතාම ඉබි ගමනින් ක්‍රියාත්මක වන බවයි වාර්තාකරුවන් පවසන්නේ.

යළිත් සිර භාරයට

එමගින් පෙන්නුම් කෙරෙන්නේ ඔවුන්ගේ දේශ සීමාව ඇතුළේ අනවසර වහල් වෙළෙඳාමක් සිදු නොවෙන බව කියා පෑම.

ඔවුන් ආපසු යවනු වෙනුවට නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස සිරගත කිරීමට තායිලන්තයේ බැංකොක්හි ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් විසින් කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

මෙම වහල් වෙළඳාම පිටුපස ප්‍රබලයන් පිරිසක් සිටින හෙයින් ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමට පොලිසිය අසමත් වී ඇති බවයි බීබීසී වාර්තාකරු පවසන්නේ.