සාමය නත්තල් කුලුන බිඳ හෙළීමෙන් ?

Image copyright AP

දකුණු කොරියාව උතුරු කොරියානු දේශ සීමාවේ ඉදි කර තිබුණ නත්තල් ගසක හැඩය ගත් කුලුනක් කඩා බිඳ හෙළන ලද බව වාර්තා වෙයි.

හැම වසරකම නත්තල් සමයෙහි, මීටර් විස්සක් පමණ උසැති එම කුලුන විදුලි බුබුලෙන් අලංකාර කොට එහි ශිඛරය දීප්තිමත් යෝධ කුරුසයකින් සැරසීම දකුණු කොරියාවේ චාරිත්‍රයකි.

එම වැඩ පිළිවෙල ආගම් නොඅදහන ‘අනාගමිකවාදී’ රාජ්‍යයක් වන උතුරු කොරියාව කුපිත කිරීමක් බවයි හෙළි වී තිබෙන්නේ.

එම කුලුන ආගම්වාදී සහ දේශපාලන ප්‍රචාරයේ සංකේතයක් ලෙස විග්‍රහ කළ ‘පියෝන්ග් යැන්’ පාලනය ඊට ෂෙල් ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරනු ලැබ තිබුණි.

සිය දේශ සීමාවට කිලෝ මීටර් තුනක් ඔබ්බෙන් පිහිටි නත්තල් කුලුන දේශ සීමාව අසල උතුරු කොරියානු නගරවාසීන්ගේ ඇස ගැටෙන දුරකයි තිබුණේ.

වසර හතළිහක්

දකුණු කොරියාවේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ ඇති වාර්තාවක් මගින් පැවසෙන්නේ, අනාරක්ෂිත හෙයින් වසර හතළිහක් පැරණි නත්තල් කුළුන කඩා බිඳ දමන ලද බවයි.

1971දී ඉදි කෙරුණ කුලුන කඩා වැටීමේ තත්වයක් තිබුණ බවයි, දකුණු කොරියානු ‘යොන්හැප්’පුවත් සේවය වාර්තා කරන්නේ.

එම පියවර ගනු ලැබුණේ උතුරු කොරියාවත් සමඟ සබඳතා වර්ධනය කර ගැනීමේ අභිප්‍රායෙන් බවට පළ වෙමින් ඇති අදහස් දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

එහෙත් බීබීසී සෝල් වාර්තාකරු පවසන්නේ, දෙරට අතර එදිරිවාදී තත්වය සමනය කර ගනු ලැබීමේ උවමනාව පෙන්නුම් කිරීමේ සංඥාවක් හැටියට කුලුන බිඳ දැමීම සැලකිය හැකි තත්වයක් පවතින බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර