ජනාධිපති ඔබාමාගේ දෑවුරුදු අභියෝගය

Image copyright AP

ඇමෙරිකා එක්සත් ජනපදයේ අන්තර් වාර මැතිවරණ වලින් තමා නියෝජනය කරන ‘ඩිමොක්‍රටික්’ පක්ෂය මහා පරාජයකට පත් වීමෙන් අනතුරුව ප්‍රකාශයක් කළ ජනාධිපති බරක් ඔබාමා, පක්ෂ දෙකේ ම කොන්ග්‍රස් මණ්ඩල නායකයන්ට සාකච්ඡා සඳහා ධවල මන්දිරයට ආරාධනා කළේය.

ඉදිරිපත්ව ඇති අභියෝගය හමුවේ ජනාධිපති ඔබාමා බදාදා සවස මාධ්‍ය හමුවක් ඇමතීමට නියමිතව තිබුණි.

නව මැතිවරණ ප්‍රතිඵල අනුව ඇමෙරිකානු කොන්ග්‍රසයේ මන්ත්‍රී මණ්ඩල දෙකේ ම බලය හිමි වෙන්නේ ‘රිපබ්ලිකන්’ පක්ෂයටයි.

ඊයේ පැවැත්වුන ඡන්දයේ දී සෙනේට් සභාවේ මෙන්ම නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේත් බහුතර බලය තමන් සතු කර ගැනීමට ‘රිපබ්ලිකන්’ පක්ෂය සමත් විය.

වසර හැටකට පසුව

කොන්ග්‍රස් මණ්ඩලය තුල මෙවැනි බලයක් ‘රිපබ්ලිකන්’ පක්ෂයට හිමි වුනේ අවුරුදු හැටකටත් අධික කාලයකට පසුව බවයි ඇමෙරිකානු දේශපාලන ඉතිහාසය පෙන්වා දෙන්නේ.

ඇමෙරිකානු සෙනේට් සභාවේ, ‘රිපබ්ලිකන්’ නායක මිච් මැකොනෙල් (Mitch McConnell) පවසන්නේ, ‘ඔබාමා’ පරිපාලනය කෙරේ මහජන විශ්වාසයක් නොමැති බවයි.

‘ඔබාමා’ පාලනයේ ඉතිරි අවුරුදු දෙකේ ගමන් මග තීන්දු කිරීමට සිය පක්ෂයට අවස්ථාව ලැබෙන බවත් රිපබ්ලිකන් පක්ෂයේ සෙනේට් සභිකයා කියා සිටියි.

මෙවර ප්‍රාන්ත ආණ්ඩුකාර පදවි සඳහා ඡන්ද විමසීම් වලින්ද ඉදිරියෙන් සිටින්නේ රිපබ්ලිකන් පක්ෂයයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර