කාන්තා සෞඛ්‍යය විවෘත කතාබහක

ඔසප් වීම ලොව සියලු ගැහැණු ළමුන් සහ කාන්තාවන් මුහුණ දෙන ස්වාභාවික අත්දැකීමක් වුවත් මෙය සංවර්ධනය වෙමින් පවතින රටවල ලැජ්ජාවට කරුණක් ලෙස සලකනු ලැබේ.

අප්‍රිකාවේ සහ ඉන්දියාවේ මිලියන ගණනක් කාන්තාවන්ට පිරිසිදු සහ ආරක්‍ෂිත තුවා ලබා ගැනීමට හැකියාවක් නොමැති අතර ඔසප් වීම සිදු වන දින වලදී සෑම ගැහැණු ළමුන් පස් දෙනෙකුටම, එක් ගැහැණු ළමයෙකු පාසල් යාමෙන් වැළකී සිටින බවයි බීබීසී වාර්තාකාරණිය රූපා ජා පවසන්නේ.

අවාසනාවන්ත අත්දැකීමක්

ඉන්දියාවේ අග නගරයට උතුරින් පිහිටි උත්තරකාන්ද් ප්‍රාන්තයේ මන්දෝල්හි ගෙවිලියෝ ඔසප් වීම නිසා තමන්ට ගැටළු රැසකට මුහුණ දීමට සිදු වන බව පවසති.

ඔසප් වන කාලය තුලදී තමන් ස්පර්ෂ කිරීමට හෝ සුදුසු නැති අපිරිසිදු අයෙකු ලෙස සලකා සමාජයෙන් කොන් කරනු ලබන අතර මුළුතැන්ගෙයට හෝ දේවාලයට ඇතුළු වීමට පවා තහනම් බවයි ගෙවිලියක වන මංජු කියා සිටියේ.

නව හැවිරිදි සිය දියණිය මෙම අවාසනාවන්ත අත්දැකීමෙන් මුදා ගැනීමට උත්සාහ කරන බව කියා සිටි මංජු, මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ඉදිරිපත් වීම හේතුවෙන් තමන් ගම් වැසියන්ගේ අපහාසයට ලක් වන බව පැවසුවාය.

අවුරුදු පහළොවක් වයසැති පාසල් සිසුවියක් වන මාර්ගදර්ශි ඇයගේ අත්දැකීම් විස්තර කරමින් පැවසුවේ ඔසප් වන දින වලදී තමන්ට පාසල් යාමෙන් වැළකී සිටීමට සිදු වන බවයි.

සෞඛ්‍ය ප්‍රශ්න

Image caption ඔසප් වීම සිදු වන දින වලදී සෑම ගැහැණු ළමුන් පස් දෙනෙකුටම එක් ගැහැණු ළමයෙකු පාසල් යාමෙන් වැළකී සිටින බවයි බීබීසී වාර්තාකාරණිය රූපා ජා පවසන්නේ.

ඉන්දියාවේ කෝටි තිහකට අධික ගැහැණු දරුවන්ට ඔසප් වීම සිදු වන දින වලදී පාසල් යාමෙන් වැළකී සිටීමට සිදු වී තිබෙන අතර පහසු මිලකට ආරක්‍ෂිත තුවා සපයා ගැනීමට නොහැකි වීම ඉන්දියාවේ කාන්තාවන්ගේ සෞඛ්‍ය ප්‍රශ්න වලට දැඩි ලෙස බලපාන බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් වෙළඳ කළමනාකරුවකු වන අංශු ගුප්තා, වසර පහළොවකට පෙර ආරම්භ කළ 'ගූනි පුණ්‍යායතනය' මගින් පහසු මිලකට ආරක්‍ෂිත තුවා නිපදවා බෙදා හැරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනු ලැබේ..

ඔහු පවසන්නේ වසර පහළොවක් ගෙවුනත් මෙම ගැටලුව තවමත් විශාල අභියෝගයක්ව පවතින බවයි.

නමුත් ඉන්දියාවේ නාගරික පෙදෙස් වල කාන්තාවන් මේ වන විට ඔසප් වීම සිය එදිනෙදා ජීවිතයේ කටයුතු වලට බාධාවක් නොවන කරුණක් ලෙස සලකා සිය ජීවිත නිදහස් ලෙස පවත්වා ගෙන යාමට සමත් වී තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර