ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

APEC සමුළුවට සැරසෙන බේජිං නගරය

ආසියා ශාන්තිකර ආර්ථික සහයෝගීතා සමුළුව (APEC ) ලබන සතියේ බේජිං අගනුවර දී ආරම්භ කරනු ලැබීමට නියමිතව තිබිය දී මේ සතිය ඇතුළත විශේෂ පරිසර සංරක්ෂණ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට චීන බලධාරීන් පියවර ගෙන ඇත.

චීන ආණ්ඩුවේ නියෝගයක් අනුව බේජිං අගනුවර කර්මාන්ත ශාලා වසා දැමීම සහ රථ වාහන මහා මාර්ග වලින් ඉවත් කරනු ලැබ තැබීමයි සැලැස්ම වී තිබෙන්නේ.

පුරා සතියක් පැවැත්වෙන ආසියා ශාන්තිකර ආර්ථික සහයෝගීතා සමුළුවට රටවල් විස්සක රාජ්‍ය නායකයන් සහභාගී වීමට නියමිතයි.

ජනාධිපති බරක් ඔබාමා, ජනාධිපති පූතින් සහ ජපන් අගමැතිවරයා ඇතුළු ලෝක නායකයන් සහභාගී වෙන සමුළු කාලය තුල බේජිං අගනුවර පරිසර දූෂණ මට්ටම අවම කරමින් පැහැබර නිල් අහස්තලයක් පවත්වා ගැනීමයි චීන බලධාරීන් ගේ උත්සාහය වී තිබෙන්නේ.

ලෝක නායකයන් සිය අගනුවර කරා සම්ප්‍රාප්ත වෙන විට චීන නායකයන්ගේ අධිෂ්ඨානය වෙන්නේ කර්මාන්ත ශාලා වලින් නිකුත් කෙරෙන වායු අප ද්‍රවය වලින් පිරුණ අහිතකර දුමාරය තුරන් කර දීප්තිමත් නිල් අහස් තලයක් පවත්වා ගැනීමයි.

ලෝක නායකයන් බේජිං කරා සැපත් වෙන විට දූෂිත වායුවෙන් බේරීම සඳහා ඔවුන්ට මුව වැසුම් පැළඳීමට සිදු වීමේ දුෂ්කරතාවයෙන් වළක්වා ලීමට පරිසර දූෂණය පාලනය කර ගැනීමේ පියවරක් වශයෙන් කර්මාන්ත ශාලා සිය ගණනක් වසා දැමීමට සහ රථ වාහන ධාවනය සීමා කිරීමට චීන නායකයන් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නිහඬ නගරයක්

තට්ටු නිවාස ,සාප්පු සංකීර්ණ සහ වෙනත් ගොඩනැගිලි ඉදි කෙරෙමින් තිබුණ ස්ථාන වලින් මේ දිනවල යකඩ වැඩ වලදී හෝ කටු වලින් විදින විට නැගෙන ශබ්ද නොඇසෙන අතර නිහඬ බවක් පවතින බවයි බේජිං නගරයේ සිටින බීබීසී වාර්තාකරු මාටින් පේෂන්ස් පවසන්නේ.

එම ඉදිකිරීම් බිම්වල රැඳී සිටින්නේ ඒවායේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් අතලොස්සක් පමණක් වන අතර බීබීසී වාර්තාකරුට හමු වූ ඉදිකිරීම් බිමක කළමනාකරුවෙක් කියා සිටියේ තමන් ජාතික අභිලාෂයට මුල් තැන දිය යුතුව ඇති බවයි.

මෙයින් සුමාන කීපයකට පෙර බේජිං අගනුවර පරිසර දූෂණය ඉතා අන්තරායකාරී මට්ටමක පැවති අතර

එම තත්වය යටතේ පරිසර දූෂණය පාලනය කර ගැනීම සඳහා චීන පාලනය දැන් ගෙන යමින් සිටින්නේ මෙයින් අවුරුදු හයකට පෙර බේජිං ඔලිම්පික් තරඟාවලිය සමයේ ගෙන ගිය පරිසර මෙහෙයුමට සමාන මට්ටමක මෙහෙයුමක් වන බවයි බීබීසී වාර්තාකරු මාටින් පේෂන්ස් පවසන්නේ.

බීබීසී වාර්තාකරුට හමු වූ ඇතැම් බේජිං නගරවාසීන් කියා සිටියේ මෙම පරිසර මෙහෙයුම දියත් කර තිබෙන්නේ ජනාධිපතිවරුන් ගැන සිතා මිස මහජනයා වෙනුවෙන් නොවන බවයි.

සමුළුවෙන් පසුවත් දැන් ලැබෙන ජනාධිපති මට්ටමේ පරිසර සැලකිල්ල බේජිං නගරවාසීන්ට දිගටම ලැබේ දැයි ඇතැමෙක් මේ අතර ප්‍රශ්න කරති.