ඇෆ්ගනිස්තාන පොලිසියට යළිත් බෝම්බ ප්‍රහාර

Image copyright Reuters

ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ප්‍රදේශයේ ස්ථාන දෙකකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයන්ට ගොදුරු වී දස දෙනකු මරුමුවට පත් වී ඇති බව එරට බලධාරීහු පවසති.

මිය ගිය පිරිසෙන් වැඩි දෙනකු පොලිස් නිලධාරීන් වන අතර එක් සාමාන්‍ය වැසියකුද ඒ අතර සිටින බව වාර්තා වේ.

ඉන් එක් ප්‍රහාරයක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකි.

ලෝගාර් පළාතේ පොලිස් මූලස්ථානයට එල්ල වූ එම ප්‍රහාරයෙන් හත් දෙනෙක් මරුමුවට පත් වූහ.

දෙවන ප්‍රහාරයෙන් ජලාලාබාද් නගරයේ සේවයේ යෙදී සිටි පොලිස් විද්‍යාල පුහුණුකරුවන් තිදෙනකු මරුමුවට පත් වී ඇති බව වාර්තා වන අතර බෝම්බය පුපුරවා හැරීම සඳහා දුරස්ථ පාලකයක් යොදා ගෙන තිබේ.

කාබුල් අගනුවර සරසවිය පිටත පිහිටි ගසක ස්ථාන ගත කර තිබූ තවත් බෝම්බයක් පුපුරා යෑමෙන් දෙදෙනෙක් තුවාල ලැබූහ.

ඉහත කී බෝම්බ ප්‍රහාර දෙක සහ ඉරිදා කාබුල් අගනුවර පොලිස් මූලස්ථානයට එල්ල වූ ප්‍රහාරයක වගකීම තාලිබාන් සංවිධානය භාර ගෙන තිබේ.

කාබුල් පොලිස් මූලස්ථානයට ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් එක් අයකු මරණයට පත් විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර